පොදු සතුරාවන, ජන අනුමැතියකින් තොර රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි පළමු වෙඩි මුරය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කිරීමට සමගි ජන බලවේගය සුදානමින් සිටී.

අධික බදු බරින්, ජීවන වියදමින් මෙන්ම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (5) උදේ 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු වේ

අද සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් බිහිවන විපක්ෂයේ දැවැන්ත දේශපාලන සන්ධානයට තම පාර්ශ්වයද අත්සන් තබන බව නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා නිර්මාණය කරන මහා සන්ධානයට තවත් පක්ෂ රැසක් එක් කර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගිය දින සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා කියා සිටියේ (අප්‍රේල් 5) අද දිනයේදී සන්ධානය එළිදක්වා ඉතිහාසයේ විශාලතම මැයි රැලිය පැවැත්වීමට සමගි ජන සන්ධානය සුදානමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, එළඹෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන පුළුල්ම සන්ධානය මෙය බවයි.