ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් රට බංකොලොත් කිරිමට වගකිව යුතු බවට සමගි ජන බලවේගයේ නිති සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ප්‍රමුඛ නීති කණ්ඩායම සමගි ජන බලවේගය සාමාජිකයන් මුල් කර ගෙන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට තීන්දුව ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් විසින් කියා සිටියේ පෙත්සම ඉදිරිපත් කළ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉහත නම් සඳහන් පුද්ගලයන් වගකිව යුතු බව පැවසූ බවත් මෙය අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට බංකොලොත් කිරීමට සහ ආර්ථීක වශයෙන් විනාශ කරන්න රාජපක්ෂවරු ඇතුළු පිරිස වගකිව යුතු බවට ගරු අධිකරණය තීන්දු කර ඇති බවත් ඒ අනුව අප රට බංකොලොත් කල පිරිස පැහැදිලිව ඔප්පු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලනඥයන් වූ පමණින් අප රටේ අයිතිකරැවන් නොව තාවකාලික බාරකරුවන් වුවත් රාජපක්ෂවරු යුද ජයග්‍රහණය මූලික කර ගෙන රට සම්පූර්ණයෙන් ලියා ගෙන රට විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තීන්දුව තුළ රාජපක්ෂවරු ඇතුළු මෙම පිරිස ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කර ඇති බවත් පැවසීය.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 47 වැනි අදියර යටතේ කළුතර අගලවත්ත මිහිදු මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට අද (14) එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිගෙන් ක්‍රීඩා ඇමතිට තවත් අනීතික බලපෑමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අන්තර්වාර කමිටුවක් දානවා නම් එය සිදුවිය යුත්තේ කැබිනට් අනුමැතියෙන් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම රටේ නීතියට පටහැනි බවත් අන්තර්වාර කමිටුවක් පත්කිරීමේ බලය ක්‍රීඩා ඇමතිවරයාට ඇති බවත් රටේ නීතියටත් උඩින් ගොස් ජනාධිපති මාධ්‍ය අංශය මෙවැනි ප්‍රකාශ කිරීම නීතිවිරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ක්‍රීඩා ඇමතිවරයාගේ අයිතිය උදුරා ගැනීමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් බවත් ව්‍යාජ ඡන්ද හරහා ගජමිතුරු වාදයක් ඇති කර ක්‍රිකට් නොදන්න පුද්ගලයන් මුදල්වලට සිදු කරනා මේ සූදුවත් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ලබා ගැනීමට හේතු වූ කරුණු සහ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෙවිය යුතුව තිබිය දී මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පුදුමයට කරුණක් බවත් ක්‍රිකට් පරිපාලනය රටට සිදු කර ඇත්තේ ද්‍රෝහිකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂයෙන් ලක්ෂ 6000ක වැඩ ජනතාව වෙනුවෙන්

විපක්ෂයේ සිට සක්වල සහ හුස්ම වැඩසටහන් ව්‍යාපෘති 3ක් හරහා ලක්ෂ 6000ක වැඩ වත්මන් විපක්ෂය බලයක් නොමැතිව සිදු කර ඇති බවත් වත්මන් රජයට මුදල් නැති වුණාට සමගි ජන බලවේගයට රට වෙනුවෙන් මුදල් ලබා ගත හැකි ක්‍රමවේද රාශියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කර විශිෂ්ඨත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සුහුරු රටක් ඇති කරන්න නම් සුහුරු අධ්‍යාපනයක් සුහුරු සිසුවෙක් සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පුරවැසියෙක් ඇති කළ යුතු බවත් සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය ආදිය ඉගැන්විය යුතු බවත් එවිට ලෝක ශ්‍රම වෙළෙඳපොළට ගැලපෙන ශ්‍රමිකයන් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සිංහල පමණයි කියන දේට විරුද්ධව අදහස් දැක්වීම තුළ දේශද්‍රෝහී රාජද්‍රෝහී ලේබල් ඇලෙව්වත් රටේ වෙනසක් කිරීමට නම් හින්දි, චින, ජපන්, ඉංග්‍රීසි ආදි භාෂා ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මුදල් ආයෝජනයෙන් පමණක් මේ රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩගත නොහැකි බවත් ඒ සඳහා තමාට ක්‍රමවේද 3ක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම ක්‍රම පැහැදිලි කළේය. ඒ අනුව පළමු ක්‍රමය ලෙස විදේශීය පාසල් 10126ක් සමඟ අප රටේ පාසල් 10126 සම්බන්ධ කිරීම තුළ පාසල් දියුණු කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඇති කල සෙවන සරණ මාපිය ක්‍රමය වැනි ක්‍රමයක් ඒ සදහා උපයෝගී කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ධානපතියන් හා සම්බන්ධ කර ගෙන ඔවුන්ගේ ලාභයෙන් කොටසක් පාසල් වෙත ලබා ගැනීමේ වැඩසටහනක් ඇති කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියල්ල සිදු කරන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් ලබා නොගෙන බව යි.

එසේම ප්‍රාදේශීය ධානපතියන් සම්බන්ධ කර ගෙන සංවර්ධන බාරකාර අරමුදලක් ඇති කර පාසල් පද්ධතිය නඩත්තු කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් අධ්‍යාපනය දියුණු කරන්න ඕනැ තරම් අදහස් සහ අරමුදල් ඇති බවත් ඒ සඳහා රාජ්‍ය බලය ජනතා කැමැත්තෙන් ලැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 47ක් සදහා රුපියල් ලක්ෂ 436ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.