සමගි සේවක සංගමයේ සභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යාව ඇත.

එය මෙසේය ,

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විශ්‍රාම පාරිතෝෂික දීමනා ඇතුළු අරමුදල් මත අධිභාර බද්දක් පැනවීම.
2022 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මගින් වසරකට රුපියල් මිලියන 2000 කට වැඩි ලාභයක් ලබන සමාගම් ආයතන හා පුද්ගලයින් මත 25% ක අධිභාර බද්දක් පැනවීමට යෝජනා කර ඇත.
දේශිය ආදායම් පනතේ අර්ථනිරූපනයට අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල, විශ්‍රාම අරමුදල, සමාගම් යන අර්ථ නිරූපණයන්ට ඇතුළත් වේ.
උක්ත සඳහන් අරමුදල් සියල්ල අපගේ රටේ වැඩකරන ජනතාව තම දැනුම, ශ්‍රමය, දහඩිය වගුරවමින් සිය අනාගත සුරක්ෂිතභාවය සඳහා තමන් උපයාගත් වැටුපෙන් ගොඩනඟාගත් අරමුදල් වේ.
මෙම අරමුදල් එක් පැත්තකින් සමාජ ආරක්ෂණ අරමුදල් වේ. එවැනි අරමුදල් වලින් බදු අය කිරීම නොව සිදු කළ යුත්තේ බදුවලින් නිදහස් කිරීමයි. මෙම අරමුදල් වලට දායක වන සාමාජිකයින් වන්නේ රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන්නන්ය.

මෙම පිරිස් තම ජීවිතය සකස් කර ගනු ලබන්නේ ලැබෙන වැටුප මත වේ. බහුතරයකට වෙනත් ආදායම් මාර්ග ඇත්තේද නැත. එනමුත් ඔවුනට වක්‍ර බදු ගණනාවකට දායක වීමට සිදුවේ. එදිනෙදා ආහාර පාන, විදුලිය,ගෑස්, ජලය, ඇතුළුව අත්‍යවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු ගෙවීමට මෙම පිරිසටද සිදුවේ.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ වහාම සැලසූ බදු සහන තුලින්, මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ හිමි වුන ද, ජනතාවට එයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවුනි. සිදු වූයේ රාජ්‍ය ආදායම කඩාවැටී, රට බරපතළ ආර්ථික අවපාතයකට ලක් වීමයි.

ආණ්ඩුව ගත් වැරදි තීරණ වලට මේ රටේ වැඩකරන ජනතාව වන්දි ගෙවිය යුතු නොවේ. මෙම බදු පැනවීම තුළ පීඩාවට පත් වන්නේ ඉහත අරමුදල්වල සමාජිකයින් වේ.
මේ මොහොතේ අධික ජීවන වියදමකින් පීඩාවට පත් වැඩකරන ජනතාව, තමන් විසින් උපයාගත් මුදලින් ගොඩ නැඟූ අරමුදලට බදු පැනවීම කිසිසේත්ම සදාචාර සම්පන්න හෝ සාධාරණ නොවන බව පෙන්වා දෙමු.

එබැවින් පනවා ඇති මෙම බද්ද වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොකළහොත් සියලුම වැඩ කරන ජනතාව නියෝජනය කරන පාර්ශව එක්ව මෙම බදු පැනවීමට එරෙහි කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කරමු.
මෙයට,

අශෝක් අබේසිංහ (පා.ම)