හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර ඇත .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (10) එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වත්මන් රජය මෙරට පාලන බලය අත්පත් කර ගන්නා විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමෙරකානු ඩොලර් බිලියන 7.6 ක ට අධික විදේශ සංචිත පැවති බවය.

එසේ වුවද වත්මන් රජය අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ක්‍රියාකාරකම් සහ සිය හිතවතුන්ට පිරිනමන ලද බදු සහන ඇතුළු විවිධ අදූරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත් නිසා වර්තමානයේ මෙරට ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්වී තිබෙන බවද පෙත්සමෙන් සඳහන් වෙයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ හේතුවෙන් උද්ධමනය ජනතාවට දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බවත් ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන ආහාර හා අත්‍යාවශ්‍ය සේවාවන් පවා සපයා ගැනීම බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන බවත්ය.

වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ කාර්යක්ෂම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම වාතාවරණය නිර්මාණය වී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් ඔවුන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තුන්දෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබේ.