මේ සම්බන්ධව පෙර නඩු කටයුත්තකදී අධිකරණය විසින් ලබා දී තිබෙන පුර්වාදර්ෂ පිළිබඳව අවදානය යොමුකරන විට වර්තමාන නීතිපති සංජේ රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සත්‍යය සහ යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානය පවසනවා.

වර්තමාන නීතිපති සංජේ රාජරත්නම් මහතා මේ මස අගදී විශ්‍රාම යෑමට නියමිතව තිබියදී එතුමාට තවත් මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබුණා. එම නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවතාවක් කල් දමා තිබූ අතර විවිධ දේශපාලන පක්ෂ මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින්ද මේ පිළිබඳව තිබෙන බරපතල තත්වය පිළිබඳව විවේචන එල්ල කර තිබුණා.

නීතිපතිවරයකුට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් මින් පෙර ගෙන ඇති නීතිමය පූර්වාදර්ශයක් සිහිපත් කරමින් සත්‍යය සහ යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානය කියා සිටියේ එකී සූදානමට එරෙහිව සාර්ථකව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඒ සඳහා වර්තමානයේ නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ගන්න සුදානම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් ඇති බවයි.

කෙසේවෙතත්, ජනාධිපතිවරයාගේ නිර්දේශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව තවමත් තීරණයක් ගෙන නොමැති වුවද මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සිටින බවයි වැඩිදුරටත් එම සංවිධානය සඳහන් කරන්නේ.