ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දී තිබේ.

අද (22) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව මාධ්‍යට පැවසුවේය.

දිවුරුම් දීමට පෙර ධම්මික පෙරේරා මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බදු නිෂ්කාශණ වාර්තාවක් ද කථානායකවරයා වෙත භාර දී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කළ අතර පසුව එය මැතිවරණ කොමිසම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළේය.

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (21) ප්‍රතික්ෂේප කර තිබුණි.