මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇතැයි පැවසීය.

එළඹෙන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයින්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි යන්න සැකයක් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව විසින් කරනු ලබන මේ මර්දනය වහා නවතා දැමිය යුතු යැයි ද පැවසීය.ආණ්ඩුව විසින් සිදු කරනු ලබන සිදු කරනු ලබන මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත්  සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකතුමා අභිරහස් ලෙස තරුණයින් අතුරුදහන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු යැයි ද පැවසීය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු යැයිද එහිදී විපක්ෂ නායකතුමා පැවසීය.

රාජ්‍ය මර්ධනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් අද(09) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

සර්වපාක්ෂික රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින්  ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව කී විපක්ෂ නායකතුමා ඒ හරහා රට ගොඩනැගීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ සහයෝගය ලබාදීමට ද තීන්දු කරනු ලැබූ බව කීය.