ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේදී අනුගමනය කළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින අතරම එය මෙරට නීතියේ ස්වාධීනත්වය පිළිබඳවද බරපතළ ගැටලුවක් මතු කරන බව එම සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඉතිහාසය දෙස බැලූ විට ඔහු ශ්‍රී ලංකා පොලීසියේ නායකත්වය දැරීමට කෙතරම් යෝග්‍යද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු වන බවද අදාළ නිවේදනයේ සඳහන්.

විශ්වවිද්‍යාලය ආචර්යවරුන්ගේ සංගමය තවදුරටත් පවසන්නේ 2023 වසරේදී සැකකරුවෙකුට වධ හිංසා පමුණුවීම සම්බන්ධයෙන් සහ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා වැරදකරුවෙකු ලෙස හඳුනා ගෙන තිබීම ඔහු පොලිස්පති තනතුරට නුසුදුසු පුද්ගලයෙකු බව සනාථ කරන පැහැදිලි නිදර්ශනයක් බවයි.

2022 මැයි මාසයේදී ගාලුමුවදොර විරෝධතා භූමියට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරයේදී ඔහු රජයට සම්බන්ධ මැර කල්ලි සමඟ කුප්‍රකට ලෙස සහයෝගයෙන් කටයුතු කළ බව පැහැදිලි වී ඇති පසුබිමක විවිධ සිවිල් සංවිධානවල විරෝධතා නොතකා පසුව ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සහ වර්තමානයේදී ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර පවතින කුමන්ත්‍රණකාරී ප්‍රවණතාවයක් සම්බන්ධයෙන් සැක මතු කරන බවද මෙම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම වහාම අවලංගු කරන ලෙසත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා අනාගතයේදී ලබා දීමට නියමිත පත්වීම් ස්ථාපිත ව්‍යවස්ථාපිත ක්‍රියා පටිපාටිවලට සහ කුසලතා මත පදනම් වූ නිර්ණායකයන්ට අනුව සිදු කරන බවට සහතික වන ලෙසත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,

දේශබන්දු තෙන්නකෝන්