2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා හා අක්‍රමිකතා සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර මෙම ඉහළපෙලේ දුෂිතයින් එම තනතුරු වලින් වහා ඉවත් කල යුතු බවට පාර්ලිමේන්තුව තුලදී, පක්ෂ විපක්ෂ ඒකමතික යෝජනාවකින් සම්මත කරගනු ලැබුවා. එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනාව සම්මත කළ අතර ආණ්ඩු පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා යෝජනාව සම්මත කරනු ලැබුවා.  ක්‍රිකට් ආයතනයේ වංචා දුෂණ හෙළිකිරීමට සහ ඔවුන් ඉවත් කල යුතු බවට වන යෝජනාව පර්ලිමෙන්ග්තුවට ගෙන ඒමේ ක්‍රියාවලියට මහත් සේවයක් ඉටුකළ එවකට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ක්‍රීඩා ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතාව පත් කරනු ලැබුවා.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.