මේ වන විට නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ  අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන්  තම අදූරදර්ශි වැඩ පිළිබඳ ආණ්ඩුව ආරම්භ කළ බවයි විපක්ෂ නායකතුමා පැවසුවේ.

දිනපතා ඔප්පු වෙමින් තිබෙන්නේ  ආණ්ඩුවේ අදූරදර්ශී අකාර්යක්ෂම අදක්ෂ වැඩපිළිවෙළ බව පැවසූ විපක්ෂ නායකතුමා විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද සඳහන් කළේය. 

මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමට බවත්,නමුත්  ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද ඒ මහතා පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු  වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම කියසිටින ලදී.

මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් හෙතෙම පවසන ලදී. 

සජිත් ප්‍රේමදාස මහතා  මෙම අදහස් පළකළේ  ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවරට අද(11)තිස්සමහාරාම දෙබරවැව දී එක් වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවර ලෙස රුපියල් තිස් පන් ලක්ෂයක්  (රු. 3,500,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

සටහන – CJ