පොඩි පවුලකින් සමාජයට බිහි වී පවුල් බලයත්, ධනබලයත්, පිරිවර බලයත්, ඥාති බලයත් නොමැතිව ගුජරාට් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගෙන එහි මහඇමතිවරයා ලෙස විශිෂ්ඨ සංවර්ධනයක් ක්‍රියාත්මක කර ඉන්පසුව ඉන්දියාවේ තුන්වතාවක් පිටපිට අගමැතිවරයා ලෙස පත් වීම හා රජයක් නිර්මාණය කිරීම ගැන නරේන්ද්‍ර මෝදි මහතාටත් භාරතීය ජනතා පක්ෂයටත් එන්ඩීඒ සන්ධානයටත් සිය සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී තුන්වැනි වතාවටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සිය සුභාශිංසන පිරිනැමීමේ කතාව සිදුකරමිනි.

නේරු අගමැතිවරයාගෙන් පසුව තුන්වතාවක් අගමැතිධුරය හොබවන්නට වරම් ලැබූ මෝදි අගමැතිතුමා එකදිගට ජනතා විශ්වාසය ලබා ගනිමිනි ජනතා පිළිගැනීමට ලක්වෙමින් මේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ගැන සතුටු වන බවත් රටක් ලෙස ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සමීප මිතුදමක් පැවැතිය යුතු බවත් ඒ නිසාම ලෝකයේ ජනගහනයෙන් වැඩිම රට වූ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා දීම යෝග්‍ය බවත් ගෝලීය බල කේන්ද්‍රස්ථාන දෙස බලන විට සත්‍ය වශයෙන් ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් ලබා දිය යුතු බවට යෝජනා කරනා බවත් එයට අප පාර්ලිමේන්තුවේ ද ආශිර්වාදය ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෝදි අගමැතිතුමා ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත කේන්ද්‍ර කර ගෙන ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් මහජන නියෝජනත්වය ලබා ගන්න හැකි වූ බවත් පිටපිට 3 වතාවක් ජය ගැනීම ඓතිහාසික ක්‍රියාවක් බවත් ඉන්දියාව මිට දශක කිහිපයකට පෙර බොහෝම අමාරුවෙන් සිටි මොහොතක ආර්ථිකය කඩා වැටුණු මොහොතක ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සැමට සෞභාග්‍ය බෙදාගත් සෞභාග්‍ය හා සැවොම ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනය තුළින් ඉදිරියට යාම තුළ ලෝකයේ බොහෝ රටවල මන්දගාමී ආර්ථික වර්ධනයක් ඇති තත්ත්වයක් මත කොවිඩ් තත්ත්වයෙන් පසුව වුවත් දැවැන්ත ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්න ඔහුට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික ප්‍රතිලාභ සැවොම බෙදා ගත් තැන ජනතා ඉල්ලුම හා විශ්වාසය වැඩි වන බවත් එය කොටසකට පමණක් සීමා වන විට පසුබෑම් සිදුවන නිසා මේ අවස්ථාවේ මෝදි අගමැතිවරයාට සුබ පතනා බවත් යහපාලන සමයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි උදාගම්මානය ඇති කරන්න කටයුතු කළ බවත් අප රට බංකොලොත් වූ අවස්ථාවේ රටක් ලෙස වැඩිම ආධාර, ණය ආධාර ලබා දුන්නේ ඉන්දියාව බවත් ඒ ගැනත් සිය ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.