සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ වන්දිභට්ට දේශපාලනය නොවන බවත් හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති තරුණ පරම්පරාවට පෙරට එන්නට අවශ්‍ය කරන සියලු සහයෝගය සමගි ජන බලවේගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යල්පැන ගිය තරුණ ප්‍රතිපත්ති වෙනුවට, නූතනත්වය ඉස්මතු කරගත් නවීන තරුණ ප්‍රඥප්තියක් හරහා මේ රටේ තරුණ පරම්පරාව බලගැන්වීමේ කාර්යභාරය සමගි ජන බලවේගය ඉටුකරන බවත්, ඒ සමග සියලු දෙනාට එකතුවන ලෙසත් විපක්ෂ නායකවරයා ආරාධනා කළේය.

එසේම ඉතිහාසයේ නොවූ විරූ අයුරින් මේ මොහොතේ තරුණයින් රට හැර යන බව පෙන්වා දුන් ඒ මහතා ඒ තරුණයින්ගේ බොඳවුණු සිහින නැවත වරක් යතාර්ථයක් බවට පත්කිරීමට තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය කැපවන බවත් අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සිය පක්ෂයේ තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමකින් අනතුරුව අදහස් දක්වමිනි. 

සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී රැස්වූ අතර ඉදිරි කටයුතු රැසක් පිලිබදව එහිදී සාකච්ඡාවට ගනු ලැබීය.