ඩොලර් සංචිත නැතිව රට අසීරු අගාධයකට වැටි තිබියදීත් පිට රටට ණය වාරික ගෙවන්න කල්පනා කරන ආණ්ඩුව, රටේ ජනතාව ජීවත් කිරීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් සකස් කොට නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණයට පෙර වේදිකාවල කරන මහා කයිවාරුවලින් රටක් ගොඩනගන්නට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, කළයුත්තේ ප්‍රායෝගිකව වැඩ කිරීම බවද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 38වන පියවර ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් අටදහසක් (රු. 1,358,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ වැල්වැටිතුරේ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

• රුපියල් 295,000 වටිනා Multipara Monitors 2ක්
• රුපියල් 12,500 වටිනා Pulse Oximeter 5ක්
• රුපියල් 92,000 වටිනා Aneroid BP යන්ත්‍රයක්
• රුපියල් 14,000 වටිනා Non-Rebreathing Mask 20ක්
• රුපියල් 600,000 වටින ICU Bed 1ක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 37ක් තුල ලක්ෂ 1089ක (රුපියල් 108,981,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.