රාජ්‍ය ඇමැති ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පසුගිය දිනක එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අද දින අභියාචනාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා කියා සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සහ ස්වර්ණාධිපති විනිසුරුවරයා එක් මතයක් ප්‍රකාශ කළ බවත්, මරික්කාර් විනිසුරුවරයා ඩයනා ගමගේගේ පුරවැසි බව පිළිගත නොහැකි බවත් සඳහන් කළ බවකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ රටක පුරවැසිභාවයක් තිබෙන තැනැත්තෙකුට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව පැවසූ ඕෂල හේරත් කියා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අතරින් තමා සිටින්නේ මරික්කාර් විනිසුරුතුමාගේ මතයේ බවයි.

අභියාචනාධිකරණයේ තීන්දුව තමන් පිළිගන්නා නමුත් එය බෙදුණු තීන්දුවක් බැවින් ඊට එරෙහිව නුදුරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් සිවිල් ක්‍රියාකාරී ඕෂල හේරත් වැඩිදුරටත් කියා සිටියේය.