මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්වල පිහිටි අක්වෙරළ සමාගම් දෙකක හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලියාපදිංචි වී සිටින බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය නිකුත් කළ නවතම පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වක් මඟින් මේ බව අනාවරණය වී තිබෙනවා.

රටවල් 100ක මාධ්‍යවේදීන් 280 දෙනෙකු රැස් කළ තොරතුරු වලට අනුව ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, 2017 ජූලි මාසයේ සිට බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල බැන්හැම් වෙන්චර්ස් ලිමිටඩ් සහ බ්‍රොම්ටන් ප්‍රොපටීස් යන සමාගම්වල හිමිකරු සහ අධ්‍යක්ෂවරුන් වශයෙන් සිටිමින් එම ආයෝජනවල ප්‍රතිලාභ ලබා තිබෙන බවයි.

බදු නොගෙවූ මුදක් සහ කලු සල්ලි, ලෝකය පුරා ධනවතුන් වර්ජින් දුපතේ ආයෝජනය කිරීමට තෝරා ගන්නා අතර ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය රටින් පිටතට ගෙන යෑම දැඩි ලෙස සීමා කර ඇති හෙයින් අක්වෙරළ සමාගම්වල ආයෝජනය කිරීම ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබෙන පසුබිමක, මජන ආරක්ෂාව භාර ඇමතිවරයා අක්වෙරළ සමාගම් දෙකක මුදල් ආයෝජනය කර ඉන් ප්‍රතිලාභ ලැබීම මතභේදාත්මක කරුණක් බවයි සදහන් වන්නේ.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා සතු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර නිවාස දෙකක ඡායාරූප මාධ්‍යවේදී රංග ශ්‍රී ලාල් විසින් x හි පණිවිඩයක් තබමින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

මින් පෙර අවස්ථාවක, ජනතා විමුක්ති පෙරමුණ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සමග සම්බන්ධ වී, යුරෝපා දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.

මේ අතර, මේ වන විට මතුව ඇති නවතම අනාවරණය අනුව දුමින්ද නාගමුව මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් යළි අදහස් පළ කර තිබෙනවා.

ඔහු පවසන්නේ ටිරාන් අලස් අමාත්‍යවරයා මෙන්ම දූෂිත ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ තබා ගෙන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුතු බවයි.

ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය විසින්ද මෙම චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස පසුගියදා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර රාජපක්ෂවරුන්ගේ මහතාගේ ඥාති සහෝදරියක් වන නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් පිළිබදවද 2021 වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා නිකුත්වූ පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් වුණා.

ඒ අනුව අදාළ පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් වූයේ තිරුකුමාර් නඩේසන් මහතා සමග එක්ව නිරූපමා රාජපක්ෂ මහත්මිය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවයි.

ඉන් දින දෙකකට පසුව එවක ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට නියෝග කළත් ඔහුව ජනතාව විසින් 2022 වසරේ ජූලි 09 වන දින පන්නා දමන තුරුම ඊට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයක්.