කතානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා න්‍යාය පත්‍රය සකස් කළත් මේ පක්ෂ නායක රැස්වීමේ දී වැරදි තොරතුරු බොරුව, මුසාව, නොමඟ යැවීම, ඇන්දවීම මත මේ න්‍යාය පත්‍රය සකස් කර ඇති බවත් මේ නිසා තමා ප්‍රමුඛ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා ණය හිමියන් සමඟ ගිවිසුම් ගත වූවා යැයි පවසනවා නම් එම ගිවිසුමේ පිටපතක් ද ඉදිරිපත් කරන ලෙසත් එවිට සත්‍ය මත පදනම් ව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කළ හැකි බවත් මෙහි දී බරපතල වරදක් සිදුව වරප්‍රසාද අහිමි වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී බොරුව, රැවටිල්ල, බොරු ප්‍රචාර මත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් වෙනවා නම් එය බරපතල කරුණක් බවත් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද රැකගැනීමට සිටින කතානායකවරයා මෙයට වගකිව යුතු බවත් ජනාධිපතිවරයා රටට ගිවිසුම් අත්සන් කළා යැයි කිව්වත් පක්ෂ නායක රැස්වීමේ දී තව එකක් කියන බවත් මෙය පාර්ලිමේන්තුවටත් රටටත් බොරු කීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.