ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් , ජනාධිපතිවරයෙක් , පොලිස් ඇමැතිවරයෙක් , නොදැක්ක බවත් එම නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය දැඩිලෙස හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

සාමකාමී උද්ඝෝෂණ සිදුකිරිමට , අදහස් ප්‍රකාශ කිරිමට ව්‍යවස්ථාවෙන් ජනතාවට අයිතියක් තිබෙන බවත් නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණක් බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ආණ්ඩුවට විරුද්ධ විරෝධතා ව්‍යාපාර රට පුරා පවත්වන බවත් ආණ්ඩුව පලන්නා දමනකන් ජනතාව සමඟ එකතුවී ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය දිගින් දිගටම සිදුකරගෙන යන බවත් රෝහිණි කවිරත්න මහත්මිය හෙතෙම කීය.

අද (01) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් රෝහිණි කවිරත්න මහත්මිය මේ බව පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට එස් එම් මරික්කාර් මහතා සහ සුජීව සේනසිංහ මහතා ද එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘අවුරුදු 26 ක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටිකාපු මිනිස්සු තමයි ජනවාරි 30 කොළඹට ආවේ. ඒ ආපු ජනතාවට රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිස් හමුදාව යොදවලා ප්‍රහාරයක් එල්ල කළ. එය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඓතිහාසික දිනයක්.

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ. දරුවන්ට පහර දුන්න පොලිස් ඇමැතිකෙනෙක් දැක්කේ නෑ. . ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ. මහජන පුස්තකාලයට චෙස් තරඟ සඳහා ලමුන් විශාල ප්‍රමානයක් ඇවිත් සිටියා. ඒ දරුවන්ටත් පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

රටේ දරුවන්ගේ අධ්‍යාපනයට මේ ආණ්ඩුව පහර දිලා ඉවරයි. දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. රටේ දරුවන්ට කදුළු ගෑස් විතරයි ගහන් බැරි වුණේ. ඒකත් වර්තමාන ආණ්ඩුව සිදුකළා. මේ නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය හෙළා දකිනවා.

උද්ඝෝෂණය කරන්න , අදහස් ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන්ම ජනතාවට අයිතියක් තිබෙනවා. නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණයි.

ආණ්ඩුවේ තිබෙන වැරදිවලට එරෙහිව පාර බහින්නේ සමගි ජන බලවේගය විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඇයි පාරට බහින්නේ නැත්තේ. ඔවුන් ආණ්ඩුව සමඟ ඩීල් දේශපාලනයක නිරත වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කඳුලු ගැස් , ජල ප්‍රහාර එල්ල කරන්නේ සමගි ජනබලවේගයට විතරයි. රතු අලි පැටවුන්ට ගහන්නේ නෑ. ඒ නිසා සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන සිදුකරන මර්දනය හෙළා දකිනවා.

රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න , කාන්තාවන්ගේ ප්‍රශ්න , සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න තිබෙනවා ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදීත් කතා කරන්නේ නෑ. ජනතාව දන්නවා ඩිල් දේශපාලනයේ නිරත වෙන්නේ කවුද කියලා. ඔවුන්ට ජනතාව නිසි පිළිතුර මැතිවරණයේදී ලබාදෙයි.

ඖෂධ වංචාව සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරින් අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවය පළ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජය කරන්නේ හොරු රකින එක. හොරු රැකිම තුළ තමයි ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ. හොරුන්ගේ අත්තිවාරමක් තුළ ගොඩනැගුණ ආණ්ඩුවක් තමයි තිබෙන්නේ.

ආණ්ඩුවේ මර්දනය සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. පරිපාලන සේවයටත් ආණ්ඩුව අත තියලා ඉවරයි. උඩපළාතේ අම්බුලුවාව ආශ්‍රිතව රාජ්‍ය ඇමැතිවරයෙකු විසින් අවුරුදු 10 ක් තුළ සිදුකළ කෝටි 20 ක වංචාවක් සම්බන්ධයෙන් කතා කළ ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කරලා තිබෙනවා. මහ ජනතාවට කඳුලු ගෑස් ගහලා මර්දනය කරනවා. පරිපාලන සේවයට බය කරලා මර්දනය කරනවා. සභ්‍යත්වයක් තිබෙන ඇමැතිවරයෙක් නම් තමන්ගේ වරදක් වුණානම් පරික්ෂණ අවසන් වනතුරු අනුරාධ ඇමැතිවරයා ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙන්න. ප්‍රාදේශීය ලේකම්වරිය නිවැරදියි. ඇය විගණකාධිපතිගේ වාර්තා අනුව කටයුතු කරලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් විගණන වාර්තාව පැත්තකට දාලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණ ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරිවලින් ඉවත් කරලා තිබෙනවා. මෙවැනි රටක් නම් ඉදිරියට යන්නේ ජනතාවට සිදුවෙනවා මේ අසාධාරණකම්වලට විරුද්ධව පාරට බහින්න.

ආණ්ඩුවට විරුද්ධ විරෝධතා ව්‍යාපාර ලංකාව පුරාම පවත්වනවා. ආණ්ඩුව ගෙදර යවනකන් ජනතාව සමඟ එකතුවෙලා විරෝධතා ව්‍යාපාරය දිගටම කරගෙන යනවා.‘‘