අධිකරණ භාරයේ තිබූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය නියෝග කළේය. ඒ, මන්ත්‍රීවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
චම්පික රණවක මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ පෙබරවාරි මාසයේදී විදෙස්ගතවීමට නියමිතව තිබෙන බැවින් ඊට අදාල වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය බවයි. තම ඉල්ලීම සලකා බලා විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කරන ලෙසයි.
2016 වසරේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදු කිරීම හා ඊට අදාල සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත චම්පික රණවක මහතාට නඩු පැවරිණි. එම නඩුවට අදාලව මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර විදේශ ගමන් බලපත්රයද අධිකරණයට බාරයට පත් කෙරිණි.