අද පෙරවරු 06 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි පාතාල කල්ලි නායක සමන් රෝහිත හෙවත් ‘පස් පොඩ්ඩා’ ඊයේ රාත්රියේ දී මිය ගියේය.
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ සිටි පස් පොඩ්ඩා නාඳුනන තුවක්කු කරුවෙක් විසින් උසාවිය අසල දී වෙඩි තබා ඝාතනය කළේය.
මේ අතර, රත්මලාන – සිල්වා මාවතේ පිහිටි නිවසක ඊයේ රාත්රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබිණි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඇතුළු වී ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් ප්රදේශයෙන් පලා ගොස් ඇත.
වෙඩි පහර කෑ මෙම 30 හැවිරිදි පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ඝාතනය සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
තවද, අම්බලන්ගොඩ – ගලගොඩ ප්රදේශයේ මරණ ගෙදරක දී පස්වරුවේ ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එම ඝාතන සහ පෙරේදා දහවල් අම්බලන්ගොඩ ඌරවත්ත ප්රදේශයේ දී සිදුකළ ඝාතනය අතර සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරයි.