කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙනගොස් රඳවා ගැනීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු ඊයේ (04) දින සිට තාවකාලිකව වසා දැමුණි.
මෙම ගැටුමට මුල් වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත සිසුවෙකුගේ මවකට ආරක්ෂක නිලධාරියකු විසින් අයුතු බලපෑම් සිදු කිරීම නිසා බවයි විශ්වවිද්‍යාල ආරංචිමාර්ග අප වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය දවස පුරා වැඩවර්ජනයකද නිරතව සිටීම දක්නට ලැබුනා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටියේ මෙවැනි අදහසකි.
කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය සහ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළ සිදුවීම සම්බන්ධයෙනි…
2023 දෙසැම්බර් මස 01 වැනි සිකුරාදා දින රාත්‍රි 11ට පමණ කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් සහ සිසුන් පිරිසක් අතර යම්කිසි මත භේදාත්මක සිදුවීමක් වාර්තා විය. කැළණිය විශ්ව විද්‍යාලයේ එක්තරා සිසුන් පිරිසක් විසින් පඤ්ඤාරාම නේවාසිකාගාරයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු යතුරු පැදිවලින් පැමිණ පැහැරගෙන ගොස්, ජංගම දුරකථන පරීක්ෂා කොට නැවත නේවාසිකාගාරය වෙත ගෙනැවිත් ඇත. මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ එම නේවාසිකාගාරයේ සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුවෙකුගේ මවකට ආරක්ෂක නිලධාරියකු විසින් අයුතු බලපෑම් සිදු කළ බව පැවසෙන සිදුවීමකි.
ඉන් පසු දෙසැම්බර් 02 වැනි දා අළුයම 2.00 ට පමණ මේ හා සම්බන්ධ තවත් සිදුවීමක් වාර්තා වී ඇත. එහිදී ඉහත සිදුවීමට ම සම්බන්ධ සිසුන් පිරිසක් විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරියෙකු ඔහු රැඳී සිටි විවේකාගාරයෙන් බලහත්කාරයෙන් ශිෂ්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස්, පහර දී අත් පා ගැට ගැසීමක් සිදු කර ඇත.
මෙම ආරක්ෂක නිලධාරියාට පහරදීම සිදුකර ඇත්තේ ද පෙර සඳහන් කළ විශේෂ අවශ්‍යතා සහිත සිසුවාගේ මවට සිදු කළා යැයි කියන අයුතු බලපෑමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් බවට සිද්ධියට සම්බන්ධ සිසුන් විසින් සඳහන් කර තිබේ. මේ සිදුවීම දැනගත් වහාම විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මගින් සිද්ධියට සම්බන්ධ විශේෂ අවශ්‍යතා සහිත සිසුවාගේ මවගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලදී. මීට අමතරව පොලීසිය මඟින් එම කාන්තාවගෙන් ද අදාළ සිදුවීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ලබාගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය මඟින් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත. එසේම අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳව ද විශ්ව විද්‍යාලය මට්ටමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සහ අදාළ වින්දිත ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වේ.
මෙම සිදුවීම යටපත් කිරීමට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඊට අදාළ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙම සිදුවීම මුල්කරගනිමින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට සියලුම පාර්ශවයන්ගේ සහයෝගය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය අපේක්ෂා කරයි.