සමගි ජන බලවේගය විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස දේශපාලනය මෙන්ම දේශ සේවයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටට වින කළ මේ ආණ්ඩුව වහාම පරාජය කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් විපක්ෂයේ යැයි කියාගෙන ජනතාවට කළ යුතු සේවය පැහැරහැරිය නොහැකි බවද පැවසීය.

මොහොතින් මොහොත දවසින් දවස මේ ආණ්ඩුව රට විනාශයට ගෙන ගොස් ඇති බවත්, මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ ශක්තිය ඇත්තේ සමග ජන බලවේගයට බවත්, බලය නැතිව තිබියදී පවා සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ “සමගි ජන බලවේගය හුස්මක්” වැඩසටහන හරහා මන්නාරම සෙට්ටිකුලම රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 36වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ සෙට්ටිකුලම් මූලික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 35ක් තුල ලක්ෂ 1040ක (රුපියල් 104,067,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.