ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ඇත. ඒ ක්‍රීඩා ඇමති අගමැතිගේ පුතා බැවිනි. එසේම ජනාධිපතිගේ සහ මුදල් ඇමතිගේ අයියාගේ පුතා බැවිනි. එපමණක් නොව මහින්ද රාජපක්ෂ පවුලේ අනිත් පුතාල වඩා නාමල් රාජපක්ෂට ක්‍රීඩකයෙක් වුණේ හැකියාවෙන් බැවිනි.

නමුත් දේශපාලනය ඇතුළේ කරන ක්‍රීඩාවේ සුජාතභාවය රාජපක්ෂ ක්‍රමය එක්ක අවුල් සහගතවිම සාමාන්‍ය තත්ත්වයකි. එය නාමල්ටත් එසේමය. ඔවුන්ට බලය යනු සියල්ලගේ පාලනය සියතට ගැනීමට සහ කැමති පරිදි හැසිරීමට ලබා දෙන වරමකි.
ආණ්ඩුව සහ ගජ මිතුරු ව්‍යාපාර සංසදය සියල්ල අතට ගැනීමේ ක්‍රමයට ක්‍රීඩාවද කෙමෙන් යටත් වෙමින් පවතින බවක් පෙනේ. ක්‍රීඩාවේ පහසුකම් සම්පාදනය විවිධ ව්‍යාපාර යතනවලට පැවරෙන්නට පාර සැකසෙමින් ඇත්තේ ඊට ධනාත්මක රූපයක් අලවමින්ය.

ආණ්ඩුව ආ මොහොතේ සිට සීනී ද තිත්ත කළේය.එය මහා පරිමාන ව්‍යාපාරිකයෙකුගේ ඒකාධිකාරයට පැවරුවේය.වසංගත කාලයේදී හෝටල්වල සිටම සිදු වූයේ ද එයමය. මේවා ඇතැම්හූ ජනතාවගේ අයිතියක්,ජනතාවට ආණ්ඩුවක් ඉටු කළ යුතු වගකිම් හැටියට නොගෙන හෝ නොදැන “ආණ්ඩුව ඒ විදිහටම හරි කරන එක මදිද කියා ඇසුවේය. ඒ නිසා ආණ්ඩුවේ ඉහළින් තවමත් පුරසාරම් දොඩන්නේ තමුන් හොඳටම කළ බවටය. ක්‍රීඩාවට ද හොඳටම කරන්නට ඉඩ තිබෙන බවට පේන ඉඟි පදනම් කරගෙන මේ සටහන ලියා තබන්නට සිතුවේ එබැවින්ය.

ක්‍රීඩාවේ ද බොහෝ ක්‍රීඩා භාණ්ඩ එන්නේ පිටරටින්ය.අපේ රටේ නිෂ්පාදනය වන දෙයක් නැති තරම්ය. එසේ කියන්නෙ ක්‍රීඩාවේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න ක්‍රීඩා භාණ්ඩයේ ගුණාත්මක බව ද අතිශයින් වැදගත් වන බැවිනි. දැන් ක්‍රීඩා අමාත්‍යංශය අමාත්‍යංශ දෙකකි. එය විමසා බැලිමේදි හොඳය. ක්‍රීඩාව ගමට සහ පාසලට යනකම්ම ඉහළ ආණ්ඩුවේ අධීක්ෂණයට ලක් වන්නේය. පෙණුමට එසේ වුව තවමත් පළාත් සභා පාසල් එසේමය. ඒවා සමඟ පළාත් සභා නැති මොහොතක වැඩ කළ හැකි වුවත්, ඇති මොහොතක ගැටුම් ඇති විය හැකිය. ඒවා නිදහස් වී ඇති බවක් නොපෙනේ.

නැවත ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව විමසා බැලීමේදී ප්‍රාදේශීය මට්ටමට ක්‍රීඩා භාණ්ඩ සංචිත විහිදී ඇත. නමුත් ගුණාත්මක මට්ටමේ ක්‍රිඩා භාණ්ඩ සංචිත පවත්වාගෙන යන්නට ඒවා විදේශවලින් ගෙන්විය යුතුය. දැන් වසර ගණනක් ඒ දේ සිඳුවන්නේ නැත. මේ වාරණය මැද සිඳු වූ අවාසනාවන්තම සිඳුවීමට මැදි දුර ධාවන සූරී නිමාලි ලියනආරච්චි මුහුණ දුන්නේය. ඒ ඔලිමිපික්වලට ධාවන පාවහන් රැගෙන නොගිය බවට ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් පාර්ලිමේන්තුවේ නිවැරදි නොකළ තදබල කෙබරයක් උත්තරීතර මහජන නියෝජිත සභාවට ඉදිරිපත් කරමින්ය.

රටට පාවහන් එන්නේ නැති බව අමාත්‍යවරයා දන්නා බැවින් ඔහුට කවුරුන් හෝ දුන් බොරුව එහෙම පිටින්ම ගිල්ලේය. දේශපාලකයන් සාමාන්‍ය පරිදි අසන කේලාම් සංස්කෘතියෙන් නාමල් ද බැහැර නැත. එය ලේවලින්ම රැගෙන එල්ලාගෙන ඇත. නිමාලිගේ අනාගතයම කුඩු පට්ටම් කළ ඒ මහා බොරුව හමුවේ රටට ක්‍රීඩා භාණ්ඩ එන එක නතර වි ඇති බව කවුරුත් කීවේ නැද්ද එසේත් නැත්නම් දන්නේ නැද්ද කියා නොදන්නේය.

දැන් ගමේ ක්‍රීඩා පාසලට ගම් මට්ටමෙන් මිලදී ගත් ක්‍රීඩා භාණ්ඩ තිබිණ. නගරයක වොලිබෝලයක් වැනි දෙයක් විකුණන්නට තිබෙන කඩ දුලබ නැත. නමුත් දැන් ක්‍රීඩා භාණ්ඩ ආයෝජනය නැවති ඇති නිසා ඒ කඩවල්වලින් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගන්නට ඉඩ නැත. අමාත්‍යංශය හරහා සංචිතවලට ක්‍රීඩා භාණ්ඩ බෙදෙයි. ඒවා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීම නැවතී ඇති මොහොතක පැවරෙන්නේ කාටද?

මේ ආකාරයට ව්‍යායාම් ශාලා සම්බන්ධයෙන් ද ඇතැම් ආයතනවලට භාණ්ඩ සැපයීමට පින පෑදුණ බව මේ වන විටත් නොරහසකි. ඒ ආකාරයටම ගමේ නැත්නම් ප්‍රාදේශිය මට්ටමෙන් ක්‍රීඩා භාණ්ඩ පාසලට, ගමේ ක්‍රීඩා සමාජයට විකුණු කුඩා ව්‍යාපාරිකයා අවසන්ය. දැන් පොදි පිටින් නැව් ගණන් රටටම ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයා හරහා ගමේ ක්‍රීඩකයාට පහසුකම් දෙන්න වැඩ සටහන් දිග හැරෙන්නට නියමිතය. ගමේ ක්‍රීඩකයාට ඒ නිසා හදිසියකදි ක්‍රීඩා භාණ්ඩයක් නැත්නම් උපකරණයක අඩුවක් පිරිමසා ගන්නට තිබුණු තැන් වැසි යනු ඇත.

ක්‍රීඩා භාණ්ඩ සංචිත වැදගත්ය.එහෙත් ක්‍රීඩා භාණ්ඩ ආයෝජනය නැවතී තියෙන මොහොතක ගමේ ක්‍රීඩා බඩු කඩය වැසෙන එක අවදානම්ය.ඒ හරහා එක අයෙක් නොවන පිරිසකට තම ජීවනෝපාය අහිමි වීමට හැකිය.ගමේ ක්‍රීඩා සමාජයට සහ ගමේ ක්‍රීඩා පාසලට ක්‍රීඩා භාණ්ඩ මිලට ගැනීමේදී ඒ ඒ ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා භාණ්ඩවලට නිශ්චිත තාක්ෂණික කරුණු අනිවාර්ය කිරීම වැදගත්ය.එහෙත් ඒවා යම් වෙළද ඒකාධිකාරයකට නතු කොට ක්‍රීඩාව සංස්කෘතියක් විමේදි එයින් ජීවනෝපාය සකසා ගනිමින් සිටි පිරිසකගේ ජීවිත නොසළකා හැරීම අනුමත කළ නොහැකිය.

ඒ ආකාරයටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සම්බන්ධ පුහුණුකරුවන් සමහර විට හිටපු ක්‍රීඩකයන් තමන් දන්නා විදේශිය වෙළද පොළ භාවිතයට ගෙන සපත්තුවක්, බෝලයක්, පිත්තක් ගෙන්වා එය යම් සාධාරණ මිලකට විකුණා ජීවිකාව කරගෙන ගියේය. තැන තැන අටවාගත් ඇකඩමි මට්ටමේ කඩ ද ඇත. එසේ නොවන දේ ද ඇත. එහෙත් බොහෝ විට පුහුණුකරුවන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද හොඳ පිළිගත හැකි ආර්ථිකයක් නැත. ලංකාවේ ක්‍රීඩාවේ සංස්කෘතිකමය දුප්පත්කම එක ආකාරයකට පෙනෙන ඒ පැතිකඩ නොදන්නා බබ්බු ද නැත. එහෙම තත්ත්වයක විදේශ භාණ්ඩ ආයෝජනය නවතා මහා පරිමානයෙන් ක්‍රීඩා භාණ්ඩ බෙදා දිය යුතු පාරක් ඇති කරන්නේනම් ඒ පාරේ යන්නට සියලු දෙනාට බැරි බව නොතේරෙන්නට තරම් බබ්බුද නැත. ඒ පාරේ යන්නට අවසර ලැබෙන අය ක්‍රීඩා භාණ්ඩ ව්‍යාපාරයේ පුංචි මිනිස්සු සිය සිය බලයෙන් මිරිකා රොඩු බවට පත් කරනු ඇත.

ක්‍රීඩා භාණ්ඩවල ජාතික ප්‍රමිතියක් අවශ්‍යය වේ.ඒ ජාත්‍යන්තර මට්ටමටය.ජාත්‍යන්තරයෙන් ගේන හැම දේම හොඳ නැති බවට හොඳම නිදසුන අසූචි නැවය. බාල ගෑස් ද ආපසු හරහා යැව්වේය. ඒ නිසා රටට එන ක්‍රීඩා භාණ්ඩයද පිළිගත් පිරිවිතර සමඟ සසැඳිය යුතුමය. එහෙත් ඒවා එක්කෙනෙක් දෙන්නෙක් ලෙස මහා පරිමාන සමාගම්වල බූදලයට ලියා දුන්නොත් ගමේ ක්‍රීඩාව නඟා සිටුවන්නට බැරිය. ඒ නිසා මේ ගමට ක්‍රීඩාව ගෙන යාමෙ අපූර්වත්වය පුම්බන තරම් ලස්සන නැත. ඒවා විධිමත් සාකච්ඡා මණ්ඩපයක සාකච්ඡාවට ගත යුතුය.ක්‍රීඩා පාලක සභාවට කවුරුන් පත් වුණ ද, ඔවුන්ට ක්‍රීඩාව ක්‍රීඩා භාණ්ඩයේ ප්‍රමිතිය ගැන දෙන උපදේශය හැරෙන්නට සමාජයේ පහළට බලපාන ජනතාවගේ තත්ත්වය හැඟෙන දේශපාලනය දන්නේ නැත. එවැනි වටපිටාවක ඔවුන් තමන්ගේ කීර්තියේ රැස් වළලු ලෙස එල්ලාගෙන පරම්පරාවේ දේශපාලනයේ හැඩයට අනුව ක්‍රීඩාව වයාපාරික වයාපෘතිය් බවට පත් කර ගන්නට ද ක්‍රීඩා අමාත්‍යවරයාට හැකියාව ඇත.

ඒ සඳහා මූලිකව පෙරහැරට කසකරුවන් කැඳවා ඇත. නැට්ටුවන් තවම අඳිමින් ඇත. මේ සටහන ගැන අවධානයෙන් සිටියොත් ජනතාවට කැමති විදිහට නටාගන්න කියා බෙරය නොගසා සිටිය හැකිය. ක්‍රීඩාවේ තරුණ ජවය හා වට වුණු ගමේ පැරණි ක්‍රීඩා බඩු කඩේ අමතක කළොත් රටේ ක්‍රීඩාවට තරුණ ජවය එකතු වෙන්නට ඇති මඟ වැසෙනු ඇත. ක්‍රීඩාවට තරුණ ජවය ක්‍රියා පදයක් නොවන, සැරසිල්ලක් පමණක් ලෙස නොසෙල් වි තිබෙනු ඇත.

සුගන්ධ රණසිංහ