අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළ ආර්ථික ඝාතකයෙකුගෙන් එක් පුද්ගලයෙකු බවත්, එලෙස කටයුතු කළ ඔහු වර්තමානයේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග06ක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක් ඇතුළු නියෝග සහ රෙගුලාසි කිහිපයක් පිළිබඳ ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, කෙසේ වෙතත් මහ බැංකුව දේශපාලනීකරණය කළ සෑම රටකම ආර්ථික අර්බුද නිර්මාණය වූ බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී 2020 වර්ෂයේදී රුපියල් කෝටි 65,000ක මුදලක් සහ මෙම වර්ෂයේ ජුනි මාසය වනවිට රුපියල් කෝටි 20,800ක මුදලක් අච්චු ගසා තිබෙන බවත්, එලෙස මුදල් අච්චු ගැසීම හරහා රුපියලේ අගය ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද බාල්දු වී ඇති බවත් සඳහන් කළ කබීර් හෂීම් මන්ත්‍රීවරයා,


“මේ ආණ්ඩුව තිබෙනකොට 2014දී අපේ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 22යි. ඒත් 2019දී අපි යනකොට අපේ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 17යි. ඩොලර් බිලියන හතරහමාරක් අඩු කළා අපි. නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික අර්බුදය නිර්මාණය කළ ආර්ථික ඝාතකයන්ගෙන් එක්කෙනෙක්. එහෙම පුද්ගලයාව මහ බැංකු අධිපති ලෙස පත්කළා. නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ලෙස කලිනුත් හිටියා. එතුමාගේ කාලයේ ප්‍රාථමික බැඳුම්කරුවෙකු වන එන්ට්‍රස් සමාගමට බලය දීලා විදුලිබල මණ්ඩලයේ මුදල්, මහ බැංකු සේවකයන්ගේවිශ්‍රාමික මුදල් අරගෙන කෝටි 1200ක වංචාවක් සිදුවුණා.
ඊළඟට ග්‍රීක බැඳුම්කරවල කෝටි 3500ක පාඩුවක් මේ රටට සිදුවුණා. නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවට නැවත පත්කිරීම මම දකින්නේ හරියට කාවොන්ටරෙදි අල්මාරිය දුන්නා වගේ. කාවෝ අහුවෙන රෙද්දකනවා. මහ බැංකුවේ නිලධාරිනියක් ඊයේ පෙරේදා
ඉවත් කළා. මේ කාවා රෙදි විතරක් නෙවෙයි පොත්පත් කනවා. දැන් එයාගේ දත්ත පොත්පත් මේ කාවෝ කාලා ඉවර ඇති. මහ බැංකුව කියන්නේ මූල්‍ය කාර්ය භාරකිහිපයක් තිබෙන ආයතනයක්. ඒකේ ප්‍රධානම දේතමයි ස්වාධීනත්වය. රටේ ආර්ථිකය ගෙන යන්නට ඒකේ ස්වාධීනත්වය තිබෙන්න ඕන. ඒත් මහ බැංකුව දේශපාලනීකරණය කළ සෑම රටකම ආර්ථික අර්බුද නිර්මාණය වෙලා තිබෙනවා. නිවාඩ් කබ්රාල් මහතා ඇමති වෙලා ඉන්න කාලයේ 2020දී සමස්ත වශයෙන් කෝටි 65,000ක් මුදල් අච්චු ගහලා තිබෙනවා. මේ වසරේ ජුනි මාසය වනවිට කෝටි 20,800ක් මුදල් අච්චු ගහලා තිබෙනවා. ඒ අනුව රුපියලේ අගය ජාත්‍යන්තරව විතරක් නෙවෙයි දේශීය වෙළෙඳ පොළෙත් මස්තබාල්දු වී තිබෙනවායනුවෙන්ද සඳහන් කළේය.

සටහන – CJ