එදා මුළු රටම ගෝඨාභය රැල්ලට හසු වූ බවත් ඒ රැල්ලෙන් අද මුළු රටම අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා අභියසට ගොස් තමන් දිවුරුම් දී තනතුරු බාර නොගත් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව තමන් අදත් සතුටු වන බව ද පැවසීය.

අද වන විට ගල් අඟුරු වලින් පවා මගඩි සිදුවන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවට අවශ්‍ය වන්නේ දේශපාලන ගේම් ක්‍රියාත්මක කිරීම පමණක් බවද පැවසීය.

අද රට මුහුණ දෙන ප්‍රශ්න මාසෙන් දෙකෙන් විසඳීමට නොහැකි බවත් ඒ ඇත්ත අවබෝධ කර ගැනීමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, සුරංගනා කතා වලින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බවද පැවසීය.

තමන් මේ රටේ අර්බුදය අවබෝධ කොටගෙන කොට ගෙන ඊට විසඳුම් උදෙසා වහාම අලුත් ජනවරමත් වෙනුවෙන් මැතිවරණයකට යායුතු බව පවසන විටඑදා ඊට අවඥාවෙන් සිනාසුනු සමහරු අද මැතිවරණයක් ඉල්ලා මහා පාරවල් වල යමින් සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අද (28) පැවැත්විණි.
මිනුවන්ගොඩ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් එය සංවිධානය කොට තිබූ අතර විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

රටට එන්නට නියමිතව තිබූ අනතුරු සියල්ල පිළිබඳව තමන් එදා කල්තියා දැනුවත් කළ බවත් එහෙත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ උසුළු විසුළු වලින් බවත් පැවසූ විපක්ෂ නායකතුමා එහි බරපතළ ඛේදවාචකයට අද මුළු රටම ලක්වී ඇතැයි ද පැවැසීය.