සිවිල් සංවිධානවලට වත්මන් රජය යටතේ රැකවරණයක් නොමැති මොහොතක හා සිය ජීවිතය පවා අනතුරේ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ පාට භේදයකින් තොරව සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කළ යුතු බවත් තමා ඇතුළු පිරිස සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සමගි ජන බලවේගයේ නීතිඥවරුන් 8 දෙනකු යොමු කර ඉන් නිදහස් වීමට උපකාරී කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පැවසීය.

එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එතුමාට සහාය පළ කිරීමට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වත්මන් රජය විසින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන නායකයන් දඩයම් කිරීමට කටයුතු කරන බැවින් ඔවුන් සඳහා රැකවරණයක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය. එසේම ජනතාව ජීවත් කරවීමේ කටයුත්තට, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට වත්මන් රජයෙන් පහර පිට පහර එල්ල වන අවස්ථාවේ ජනතාවත් සිවිල් සංවිධානත් රැක ගන්නා නායකයකු ඉදිරියේ සිට ගැනීමට සිවිල් සංවිධාන සහ ජනතාවට සිදුවන බවත් එහි එක් පියවරක් ලෙස තමා ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනතාවාදී ගමන හා එක්වන බවත් හෙතෙම පැවසීය.

එසේ ම ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම අත්අඩංගු වීම සිදුවූ බවත් මේ මොහොතේ පවා තමා ඇතුළු සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවත් ඒ සියලු අවස්ථාවල තමා ඇතුළු සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නැවත වරක් ස්තූති වන බවත් මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.

මේ අවස්ථාවට පුරවැසියා සංවිධානයේ සභාපති රවීන්ද්‍ර නිශ්ශංක, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ස්වයං රැකියා කාන්තා සංගමයේ සභාපති ධම්මිකා රණසිංහ, ස්වයං රැකියා කාන්තා සංගමයේ ගම්පහ සභාපති ඩොරින් රන්දෙනිය, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක යොහාන් මනුනාථ, ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ, ස්වයං රැකියා කාන්තා සංවිධානයේ ලේකම් ඩී. බී ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.