උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වීමෙන් පසු එම ප්‍රදේශවල ජිවත් වන ජනතාවට තමන්ගේ ජීවනෝපාය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන පරිදි ඉඩම් පරිහරණය කිරීමේ ගැටලුව තවමත් නොවිසදුනු ගැටලුවක් බවත් එයට හේතුවක් වන්නේ ජනාවාස ආශ්‍රිත ඉඩම් බොහෝමයක් අවශේෂ කැලැ ලෙස ගැසට් වීමත් එම ඉඩම් ජනතාවට නිදහස් කිරීමේ දී රජය ගන්නා ක්‍රියාමාර්ගයන්හි ගැටලු රැසක් පැවතීමත් දක්නට ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

1985 වර්ෂයේ මිනින්දෝරු සිතියම්වලට අනුව රක්ෂිත හා අවශේෂ කැලෑ නිදහස් කරන බවට පවසා ඇති බවත් මෙසේ නිදහස් කිරීමට හදුනා ගෙන ඇති හෝ ප්‍රාදේශීය ලේකම්වරු විසින් නිදහස් කිරීමට ඉල්ලා ඇති ඉඩම් ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම තමා පසුගිය දින අම්පාර, මොණරාගල, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උතුරු හා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දි ඔවුන්ගේ පාරම්පරික ගොවිබිම් අහිමි වී ඇති බව දැන ගැනීමට ලැබුණු බවත් මේ තත්ත්වය තුළ රජය නැවත ඒවා ලබා දෙනවා කිව්වත් තවම එය කටවචනයට පමණක් සීමා වී ඇති බවත් රජය මෙසේ ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද 2383/5 ගැසට් පත්‍රය මඟින් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ඉහළ ජෛව විවිධත්වයකින් යුත් ගොඩබිම් හා මුහුදු රක්ෂිතයක් හෝ එහි සැලකිය යුතු කොටසක් ඉවත් කර ඇති බවට පරිසරවේදීන් පවසන බැවින් මෙහි සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන් ම ගොවිජනතාව පාරම්පරිකව කෘෂිකර්මාන්තය පවත්වා ගෙන ගිය ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් වන ගහනය ආරක්ෂා කර ගන්නවා සේම කෘෂිකර්මාන්තය ද රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියේය.

විවිධ දිස්ත්‍රික්වල සංචාරයේ දී ජනාධිපතිවරයා විසින් පොරොන්දු වී ඇත්තේ පාරම්පරික ගොවි බිම් නිදහස් කරන බවට වුවත් එය කතාවට පමණක් සීමා වී ඇති බවත් පදවිශ්‍රීපුර, ගෝමරන්කඩවල, මොරවැව, කන්තලේ, සේරුවිල, වෙරුගල්, අම්පාර, මොණරාගල දිස්ත්‍රික්කවල මෙන්ම උතුරේද මේ ගැටලුව ඇති බවත් තමන්ගේ ගොවිබිම් නිදහස් වෙනතුරු එම ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.