රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට අනුව, ඔවුන්ගෙන් වන්දි ඉල්ලා වන්දි නඩු පැවරීමට, සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

එවක පැවති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම් මිලින්ද ප්‍රේමරත්න මහතා පවසනවා.

මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවැරිය හැකි බවට නීති උපදෙස් ලැබී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව හැටියට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළා.

ගෑස් අනතුරුවලින් පමණක් මනුෂ්‍ය මරණ දහයකට වඩා සිදු වූ නමුත් අදටත් රජය ඊට සාධාරණය ඉටු කර නැති බවට ඔහු චෝදනා කරනවා.

ගෑස් පිපිරීම් ඇතුළුව විවිධ අංශවලින් පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී තිබුණද ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු ඵලක් වී නැතිබව ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.