සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ආර්ථික කමිටු අතර විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයට කළ අභියෝගය වෙනතකට ගෙනයමින් ආර්ථික කමිටු අතර විවාදය සහ පක්ෂ දෙකේ නායකයින් අතර විවාදය යන විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසමින් සිටින බවට චෝදනා කරමින් මාධ්‍ය වෙත මේ වන විට නැවතත් ලිපියක් යොමුකොට ඇත.
මෙම ලිපිය හරහා නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයට අවධාරණය කර සිටින්නේ වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික ගැටළු පිළිබඳව පක්ෂ දෙකෙහි ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට මෙම විවාදය සඳහා අභියෝග කළ බැවින් මේ මොහොතේ ඉතාමත් වැදගත් වන්නේ මුලින් එම ප්‍රතිපත්ති පිළිබඳව ආර්ථික කමිටු විවාදය හරහා සාකච්ඡා කිරීම බවයි.
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර රටේ ආර්ථික ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද? යන්න අරභයා විවාදයක් පැවැත්වීමේ යෝජනාව මවිසින් ඉදිරිපත් කළේ වර්තමානයේ අප මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීම නිසාය.
ඒ සඳහා දැනටමත් සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් රටේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා වූ තාක්ෂණික සැලසුමක් සහිත මාර්ග සිතියමක් (Blue Print) ප්‍රකාශයට පත්කොට ඇත.
එවැනි විවාදයකට අවශ්‍ය පදනම අප විසින් සකසා තිබිය දී පවා, ඔබගේ පක්ෂය විසින් ආර්ථික කමිටු විවාදය මඟ හැරීමට දරන උත්සහය තේරුම් ගැනීමට අපහසුය.
අප ආර්ථික කමිටු විවාදයකට ඇරැයුම් කරද්දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයකට ඔබ කළ යෝජනාව අප විසින් කිසිදු පැකිලිමකින් තොරව පිළිගෙන ඇත.
එම විවාදය සඳහා විටින් විට විවිධ යෝජනා රැගෙන එමින්,පගේ මූලික යෝජනාව පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකරන්නේ මන්දැයි අපි යළිත් ප්‍රශ්න කරමු.
අපගේ මූලික ඉල්ලීම මත විවාද දෙක අතුරින් පළමුව ආර්ථික විවාදය පැවැත්වීමත්, දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබද අපගේ ස්ථාවරය එලෙසම පවතින බව අවධාරණය කරමු. එබැවින්, අප විසින් යෝජනා කරනු ලැබූ දින අතුරින් ආර්ථික කමිටු විවාදයට ඔබ ලබාදෙන දිනය ද නොපමාව දැනුම් දෙන්නේ නම් මැනවී.
එවිට අදාළ විවාද දෙක පිළිබදව සැලසුම් සකස් කිරීම (නාලිකාව හෝ නාලිකා තෝරා ගැනීම, මැදිහත්කරුවන් පිළිබදව තීරණය කිරීම ආදී කරුණු) සඳහා වූ සාකච්ඡාවකට ඔබට යළිත් ඇරයුම් කරමි.
අප විසින් යෝජනා කරනු ලැබු ආර්ථික කමිටු විවාදය පිළිබඳව කිසිදු සඳහනක් නොකොට, එම විවාදය පිළිබදව අවධානය වෙනත් දිශාවකට යොමු කරන සුපුරුදු උත්සහය තුළ අප දකින්නේ ඔබ විසින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරය නිරීක්ෂණය වීම බව කණගාටුවෙන් සඳහන් කරමි.