වත්මන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙහි කටයුතු කරන විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ලබන වසරේ ජනවාරි මාසයේ සිට එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුවෙමින් තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

එම ධූරය සඳහා කමල් ගුණරත්න වෙනුවට වෙනත් ප්‍රබල පුද්ගලයකු පත්කෙරෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කමල් ගුණරත්න මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේදීද අවස්ථා කිහිපයකදී දැඩිව විවේචනයට ලක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට බැනවැදීම සහ තර්ජනය කිරීම හේතුවෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ආරක්ෂකයන් හා සුනඛයින් පිරිවරාගෙන කමල් ගුණරත්න ටොරින්ටන් චතුරස්‍රයේ උදෑසන ව්‍යායාම සිදුකරන බවයි.

චන්දිම වීරක්කොඩි මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ කමල් ගුණරත්න විශ්‍රාම යාමෙන් පසු පෞද්ගලික ටියුෂන් පංති පවත්වන ආයතනයක ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවක කල අතර හුදෙක්ම දේශපාලන සබඳතාවයන් මත ආරක්ෂක ලේඛම් ධූරය ලබාගෙන ඇති බවත්ය.

ආරක්ෂක ලේකම් වරයකු වශයෙන් කටයුතු කර ජනාධිපති වීමෙන් පසුව රටේ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ධූරය හැරදමා පළායාමට සිදුවූ ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකලාපය උද්දාමයට පත්කරමින් ගෝඨාභය චරිතාපදානය වැනි පොත් කිහිපයක්ම කමල් ගුණරත්න විසින් ලියා ඇති බවත් දක්නට ලැබේ.