ආණ්ඩුව කොවිඩ් වසංගතයට මුවාවෙමින් විරෝධතා මර්දනය කිරීමට නොයෙකුත් උත්සාහ ගත්තත් නොවැම්බර් 16 වෙනිදාට නියමිත කොළඹ වැටළීමේ විරෝධතා ව්‍යාපාරය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

“අපට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ජනතාවගේ විරෝධය, ජනතාවගේ අකමැත්ත මේ ආණ්ඩුවට පෙන්වන්න, එළිදක්වන්න. මොකක්ද ආණ්ඩුව අද කරන්නෙ ? ආණ්ඩුව අද මේ සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට තහංචි දාන්න යනවා. කොවිඩ් වලින් දවසට 250 – 300 මැරෙද්දි නොගහපු ගැසට් එකක් පහුගිය 09 වෙනිදා ගහලා. මේ ගැසට් එක ගහලා තියෙන්නෙ ඇයි ? අපි ආණ්ඩුවෙන් අහන්නෙ, ආණ්ඩුවට පුළුවන් නම් දහස් ගාණක් එක්කහු කරලා හෝල් එකක් ඇතුළෙ තමන්ගෙ පක්ෂයේ සංවත්සරය තියන්න, අපි පොලිසියෙන් සෞඛ්‍ය අංශවලින් අහනවා ඒකට මේ නීතිය නැද්ද ?” යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.