අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රට හිඟාකන රටක් බවට පත් කර ඇති බව ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් ඊයේ(07) කොළඹදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සභාපති ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතාවාදී බුද්ධි මණ්ඩපය සභාපති ආනන්ද විජේවික්‍රම මහතා.

අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයට ඇවිත් තිබෙනවා. අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රට හිඟාකන රටක් බවට පත් කරලා . එය ලෝක ආර්ථිකය තුළත් දේශීය ආර්ථිකය තුළත් මේ රට දරුණුතම කඩාවැටීමට ලක් වෙලා තිබෙනවා . අවුරුදු දෙක හමාරක කාලය තුළ ගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිසා මේ රටේ කෘෂිකර්මාන්තය ඇතුළු සමස්ත නිෂ්පාදන කඩා වැටුණා. සේවා අංශයේ නියුක්ත මිනිස්සුන්ගේ රැකියා අහිමි වෙලා . විදේශ විනිමය අර්බුදයක් රට තුළ නිර්මාණය වෙලා. මේ වෙනවිට තෙල් ඇතුළු එදිනෙදා අවශ්‍ය කරන හාල් පොල් තුනපහ ටික ගන්න බැරි තැනට පත් වෙලා. මේ පසුගිය ජුනි මාසේ අවසන් සතිය වන විට මේ රටේ උද්ධමනය 50% ටත් වඩා වැඩියි අපි ගණනය කරලා තියෙනවා ආහාර ද්‍රව්‍යවල මිළ මට්ටම 100% මට්ටම දක්වා වැඩි වෙනවා. ආහාර උද්ධමනය 100% මට්ටමේ පසුගිය මාසයේ තිබුණා අපි ඉන්නේ ඉතාමත් උද්ධමනකාරී තත්ත්වයක. මේක ආර්ථික විද්‍යාවේ හදුන්වන්නේ අධි උද්ධමනය විදියට .

මෙවැනි තත්ත්වයක් තුළ මිනිස්සු තමන්ගේ එදිනෙදා ආහාර වේල හොයාගන්න බැරුව හිඟමනට වැටෙන තත්ත්වයක් නිර්මාණය වෙලා .පාරවල් දිගේ තරුණ තරුණියන් මුදල් ඉල්ලගෙන ජනතාව පස්සේ එනවා .මේ නිසා රටේ ජනතාව ඉතාමත් දරුණු ආර්ථික ඛේදවාචකයකට මුහුණ දීලා හැබැයි ආණ්ඩුව අද වන තුරුත් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පැහැදිලි ස්ථීරසාර වැඩපිළිවෙළක නැහැ.

රනිල් වික්‍රමසිංහ අගමැති තුමා විදියට මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳනවා කිව්වත් අද වෙනකොට රනිල් වික්‍රමසිංහ වාර්තාකාරයෙක් බවට විතරක් පත්වෙලා. ආර්ථිකය තව දවස් කීයද තියෙන්නේ, තෙල් දවස් කීයද තියෙන්නේ කියන එක වාර්තා කරන මට්ටමට රනිල් වික්‍රමසිංහ පත්වෙලා. ගෝඨා රනිල් ආණ්ඩුවට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න බැරි වෙලා තියෙනවා. කිසිම රටක් උදව් කරන්නේ නැති තත්ත්වයට පත්වෙලා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් පැහැදිලි උත්තරයක් දීලා නැහැ අපිට ආධාර වැඩපිළිවෙළක් ලබා දෙනවද නැද්ද කියලා .ඒ නිසා මේ රට දරුණු ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා නිෂ්පාදන ක්ෂේත්‍රය සේවා අංශය අධ්‍යාපනය සෞඛ්‍යය මේ සියල්ලම බිඳවැටිලා රට අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා. පාර්ලිමේන්තුවත් විහිළු සපයන මධ්‍යස්ථානයක් බවට මේ අය විසින් පත් කරගෙන තියෙනවා.

මේ අර්බුදවලට ජනාධිපතිවරයා විසඳුමක් දිය යුතුයි .දේශපාලන විසඳුමක් ලබා දීමේදී මේ රටේ තියෙන විශාලතම ඉල්ලීම ජනාධිපතිවරයා වහාම ඉවත් විය යුතුයි යන්නයි.රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතුයි. ඒ තුළ සියලු පක්ෂ සම්බන්ධ වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ඉතාමත් කෙටි කාලයක් තුළ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගෙන ඉන් පස්සේ ජනතාවට තමන්ගේ වරමින් නව ආණ්ඩුවක් පත්කර ගැනීමේ බලය ලබාදිය යුතු යන්න අපේ ඉල්ලීමයි.