ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්,ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ අරගල කරුවන් අරගලකරුවන් පසුපස ලුහුබැඳීම වහාම නවතන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අවධාරණය කළේය.

මේ දඩයම හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය අතිශයින් කනගාටුදායක බව පැවසූ විපක්ෂ නායකතුමා, එකී අපකීර්තිය නිසා පීඩාවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩා මේ රටේ සමස්ත ජනතාව බව ද අවධාරණය කළේය.

අද(26) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පුරවැසිය අරගලකරුවන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

අරගලයේ නායකයින් පසුපස ම්ලේච්ඡ ලෙස ලුහුබැඳීම නතරකොට එකී කණ්ඩායම් සියලු දෙනා සමඟ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියකට එළඹෙන ලෙසත්, ඔවුන් සමග සාකච්ඡාවට කටයුතු යොදන ලෙසත් ආණ්ඩුවට බල කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් අරගල කළේය රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට බවත් අමතක නොකරන ලෙසද ඉල්ලා සිටියේය. ලිච්ඡවී පාලනයක් ගැන කතා කරන ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙසද පැවසීය.