2024 අයවැය ජනතාවාදී අයවැයක් නොවන බවත් අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක දීමනාව සහ විශ්‍රාමිකයන්ගේ දීමනාව කිසිසේත් ඔවුන්ට ප්‍රමාණවත් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා කීය.

විශ්‍රාමිකයන්ට 2015 යහපාලන රජය මගින් වැඩිකළ වැටුප 2020 ජනවාරි සිට ඔවුන්ගේ මුලික වැටුපට එකතු වියයුතුය තිබූ බවත් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු විශ්‍රාමිකයන්ට හිමිවීමට තිබූ වැටුප නතර කළ බවත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නවත්වපු විශ්‍රාමිකයන්ගේ වැඩිවුණ වැටුප ලබාදෙන්න වර්තමාන ආණ්ඩුවට කටයුතු කරන්න තිබූ බවත් ජේ.සී අලවතුවල මහතා පැවැසීය.

ජේ.සී අලවතුවල මහතා මේ බව සඳහන් කළේ අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ.සී අලවතුවල මහතා මෙසේ පැවැසීය.

‘‘රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් මත ගණනාවක් තිබුණා. කණ්ඩායමක් කිව්වා අවුරුදු 75 ක සිට මේ ප්‍රශ්නය තිබෙනවා කියලා. තවත් කණ්ඩායමක් කිව්වා යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසා රට බංකොලොත් වුණා කියලා. රට බංකොලොත් කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි පාර්ලිමේන්තුවේදීත් පැවැසුවා. වර්තමාන ජනාධිපතිවරයාට කිව්වා රට බංකොලොත් කරපු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.රටේ අරගලයක් ඇතිවෙන්න හේතුව තමයි රට බංකොලොත් වීම.

අරගලය පැවැත්වෙද්දි පිරිසක් කිව්වා මේක කඩාකප්පල්කාරී වැඩක් කියලා. පැය 12 ක් 13 ක් විදුලිය කැපුවා , ජනතාවට ඉන්ධන පෝලිම්වල ඉන්න වුණා , ගැස් පුපුරලා ජනතාව මැරුණා. මේ වගේ තත්ත්වයක් තුළ තමයි ජනතාව පාරට බැහැලා අරගලයක් ආරම්භ කරලා ජනාධිපතිව පලවා හැරියේ.මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් වර්තමාන ජනාධිපති පත්වුණේ.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු කණ්ඩායම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙනවා. රටේ ජනතාවකගේ වත්කම් අඩුවෙලා , ජීවන වියදහ ඉහළ ගිහින් තිබෙනවා , වැඩිහිටයන්ට විශ්‍රාමිකයන්ට බෙහෙත් ටික ගන්න බැරි වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට දින 15 ක් තමනගේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. පාසල් දරුවන්ට පාසල් යන්න බැරිවෙලා තිබෙනවා. රටේ ජනතාව මේ ගැටලුවලට මුහුණ දීලා තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , පී ඩී ජයසුන්දර , අඩිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලය ආර්ථිය පිළිබඳ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා කියලා.

හිටපු ජනාධිපතිවරු තවම රජයේ මුදල්වලින් තමයි නඩත්තු වෙන්නේ. ලක්ෂ 220 ක් පාරට ඇදලා දාපු මේ පිරිසට රජයෙන් ලබාදෙන සියලු පහසුකම් නතර කළ යුතුයි. ඔවුන්ට පහසුකම් ලබාදීම ජනතාවට කරන ද්‍රෝහීකමක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මේ ආර්ථික ඝාතකයන්ට විරුද්ධව ජනාධිපතිවරයාගෙන් සහ වර්තමාන ආණ්ඩුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.

එමෙන්ම රට බංකොලොත් කළේ කවුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සඳහා අධිකරණයට ගිය සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමාජිකයන්ට සහ සමගි ජනබලවේගයේ නීතිඥ සමගංමයට අපේ ස්තුතිය පළකරන්න අවශ්‍යයි.‘‘


ප්‍රශ්නය – අයවැය පිළිබඳ ඔබතුමාලා මොන මතේද ඉන්නේ.

පිලිතුර – අයවැය ජනතාවාදී අයවැයක් නෙවෙයි. රාජ්‍ය සේවක වැටුප වැඩි කරලා තිබෙනවා. නමුත් මාස 5 කින් තමයි ඒ වැටුප් වැඩිවීම සිදුකරන්නේ. හරිනම් ඒ වැටුප ජනවාරි සිට ගෙවිය යුතුයි. විශ්‍රාමිකයන්ගේ දීමනාව 2500 කින් වැඩි කරලා තිබෙනවා. ඒක කොහෙත්ම ප්‍රමාණවත් නෑ. විශ්‍රාමිකයන්ට 2015 රජය මගින් වැඩිකළ මුදල 2020 ජනවාරි සිට ඔවුන්ගේ මුලික වැටුපට එකතු වියයුතුය තිබුණා. ගෝඨාභය රාජපක්ෂ චක්‍රලේක ගහලා ඒක නැවැත්තුවා. මේ වෙනකන් ඔවුන්ට වැඩිවුණ වැටුප ලැබෙන්නේ නෑ. ගෝඨාභය නවත්වපු විශ්‍රාමිකයන්ගේ වැඩිවුණ වැටුප හදලා දෙන්න වර්තමාන ආණ්ඩුවට කටයුතු කරන්න තිබුණා. එහෙම දෙයක් කරලා නෑ. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර රැසක් වැහිලා තිබෙනවා. ඒ සමඟම රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. විරැකියාවෙන් පෙළෙන අයට අයවැයෙන් කිසිදු විසදුමක් නෑ. ජනතාවයට මේ අයවැයෙන් කිසිදු සහනයක් නෑ. වැට් බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට ජනවාරිවල ඉදලා එකතුවෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩමිල සිඝ්‍රව ඉහළ යනවා.
ලක්ෂ 100 ක විතර ජනතාවට තමන්ගේ ආහාරවේල සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. සමගි ජනබලවේගයේ කිසි කෙනෙක් මේ අයවැය සාර්ථකයි කියලා පිලිගන්නේ නෑ.