රට තිබෙන තැනින් ඉදිරියට ගෙන යෑමට පැහැදිලි අදහසක් සහ වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට තිබෙන බවත් ඇගලුම් / කාර්මික / තේ / රබර් / මැණික් යන ක්ෂේත්‍ර වර්ධනය කර අපනයනය කෙරෙහි අවධානය යොමු කල යුතු බවත් ඊයේ (3) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට රට තුල ජනවරමක් තිබෙන, ජනතා විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් නොමැතිවීම නිසා රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවත් එමනිසා මැතිවරණයකින් ජනවරමක් දිනාගත් නව ආණ්ඩුවක් පත්වනතුරු රටේ දූෂණයට වංචාවට තිත තැබීමට වත්මන් රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා,
‘‘අලුත් දර්ශනයක් තිබෙන අලුත් විදිහට හිතන වංචා දූෂණවලට සම්බන්ධ නැති කණ්ඩායමක් ඉදිරිපත් කරලා තමයි රට වැටි තිබෙන අගාධයෙන් ගොඩගන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතිවුනොත් මේ තත්ත්වයෙන් රට ගොඩගන්න බෑ. රට තිබෙන තැනින් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන පැහැදිලි අදහස සමගි ජනබලවේගයට තිබෙනවා.
රටේ අපනයනය වැඩි කර ගන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. රටේ අපනයන ආදායම 2022 සහ 2023 අවම මට්ටමක තමයි තිබෙන්නේ. නමුත් 2024 දී අපනයන ආදායම වැඩිකර ගත යුතු වෙනවා. ඇගලුම් / කාර්මික / තේ / රබර් / මැණික් අපනයන ආදායම වැඩි කරගැනීමට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.
ජනාධිපති මැතිවරණයක් පැමිණෙන තුරු ඉදිරි මාස 6 තුළ රටේ දූෂණයට වංචාවට තිත තැබිය යුතුයි. රජය දැන්ම ඒ සඳහා පියවර ගත යුතුයි. නමුත් රජයෙන් ඒ සඳහා තවම නිසි වැඩපිළිවෙලක් නෑ.
මිනි මැරුමක වරදකරුවෙකු වු කෙනෙක් කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නවා. අධිකරණ වලින් දූෂණයට අහුවුණ පිරිස රටේ කතානායක ඉදිරියේ දිවුරුම් දෙනවා. රටේ නායකයෝ හැසිරිමෙන් උදාහරණයෙන් ක්‍රියා කරන්න ඉගෙන ගන්න ඕන. එහෙම නැති වුණොත් මේ රට හදන්න බෑ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලට අමතරව රටේ පාලනය සිදුවිය යුත්තේ කෙසේද කියලා වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා. එයින් පේනවා ලංකාවේ කෙතරම් දූෂිත කියලා. දුෂිණය වංචාව තිබෙන රටකට ආයෝජකයෝ එන්නේ නෑ. ආයෝජකයන් තුළ අපි හොරු නෙවෙයි කියන විශ්වාසය ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා සමගි ජනබලවේගය ඇප කැප වෙලා සිටිනවා.
සමගි ජනබලවේගය ප්‍රමුණ සමගි ජනසන්ධානය නිර්මාණය කරන ආණ්ඩුවේ ඇමැතිවරයෙකුට විරුද්ධව චෝදනාවක් තිබුණොත් ඒක සඟවන්න ඉඩ ලබාදෙන්නේ නෑ. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.
සමගි ජනසන්ධානය සමඟ එකතුවෙලා වැඩකරන්න කැමැති පිරිස් සමඟ සාකච්ඡා කරලා අපේ ප්‍රතිපත්තිවලට එකඟනම් ඔවුන්ව එකතු කරගන්නවා. හැබැයි චෝදනා තිබෙන පිරිස් අපි ආරක්ෂා කරන්නේ නෑ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා. ‘‘