අද අපේ රට පැහැදිලිවම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටිනවා. අපේ ජනතාව අතර දුගී දුප්පත්කම එන්ට එන්ටම වැඩිවෙමින් තිබෙනවා. පසුගිය වසරේ ලෝක බැංකු වාර්ථාවට අනුව අපේ රටේ ලක්ෂ 20 ක පමණ ජනතාව දිළිදුකමේ රේඛාවට ඇතුළත් වෙලා තියෙන්නේ.
කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් ජීවත්වන මේ රටේ 27% පමණ වන ජනතාවගේ ආදායම් අද රජයේ අදූරදර්ශී තීරණ තීන්දු නිසා කඩා වැටිලා. කුඩා මට්ටමේ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියුතුවූ ජනතාවටත් අද ජීවත්‍වෙන්නට සරිලන ආදායමක් සොයාගැන්ම ගැටලුවක්. රජයේ සේවකයන්ට පමණක් රුපියල් 5000ක දීමනාවක් දීම ගැන රජය කථා කරනවා.

සමස්තයක් ලෙස ප්‍රශ්නය අමතන්නේ නැතිව, වාහන ටින්කර් කරනවා වගේ, පැලැස්තර අලවනවා වගේ වැඩ වලින් ජනතාව රවටන කතන්දර රජය සුපුරුදු ලෙසින් කියමින් සිටිනවා. දිනෙන් දින වැඩිවන කිරිපිටි මිල, එළවළු මිල, සහල් මිල, බොහෙත් මිල, සිමෙන්ති ටිකේ මිල ආදී සියළු අත්‍යාවශ්‍ය දෑ වල මිල ජනතාවට දරාගන්නට බැරි තරම්.
මේ මධ්‍යයේ රජය බිලියන ගණනින් මුදල් නෝට්ටු අච්චු ගැසීම කරගෙන යන බව මාධ්‍යය ඉදිරියේ පිළිගෙන තිබීම අපි දකිනවා. මේ නිසා රුපියලේ වටිනාකම අඩුවීම සීඝ්‍රයෙන් සිදුවේ. එක පැත්තකින් ලැබෙන ආදායම් ජනතාවගේ කඩා වැටිලා. අනෙක් පැත්තෙන් රුපියලේ අගය අඩුවීම තුළ කඩේට යන විට ගන්නාවූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය එන්ට එන්ටම ඉහළටම යනවා. අත්‍යාවශ්‍ය කොමසාරිස් ධුරවලට හමුදා නිළධාරීන් පත් කළා කියලා බඩු මිල වැඩිවීම පාලනය කර ගන්නට පුලුවන්වෙලා නැහැ.

මේ අතර දූෂණය, නාස්තිය ඉහවහා ගිහිල්ලා. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ දූෂණ පිළිබද පසුගිය වසරේ ජාත්‍යන්තර දර්ශකයේ අපි 94 වන ස්ථානයේ සිට 102 දරන තැනට පහලට වැටිලා. ඉහවහා ගිය දූෂිත කටයුතු නිසා ලෝකය ඉදිරියේ අපි නින්දා සහගත තත්වයකට පත්වෙමින් සිටිනවා.

පසුගියදා අසූචි පොහොර නැව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් ඒ සමාගමට ගෙවීමට කටයුතු කරලා. ඒ ගෙවන ලද මුදල් කන්දරාව වෙනුවෙන් අපේ රටට ලැබුණු දෙයක් නැහැ. ජනතාවගේ මුදල් මේ විදියට කිසිදු වගවිභාගයක් නැතිව ගසාකන්නට ඉඩ දී බලා සිටින සමාජයක් බවට අපේ රට පත්වෙලා. මේ දූෂිත ගණුදෙනුවලට වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බලා ඔවුන් නීතය ඉදිරියට ගෙන ඒමට කිසිදු පියවරක් ගන්නා බව දකින්නට නැහැ. ජනතාවට වගවීම නැහැ. පාරදෘෂ්‍ය භාවය නැහැ.
ශ්‍රි ලංකාවේ ආර්ථික කටයුතු පිළිබද දැන උගත් සියළු දෙනාම පාහේ, බැදුම්කර ණය ආදිය දැන්ම ගෙවීමකට නොගොස් ප්‍රතිව්‍යූහගත කිරීමකට යන ලෙස ඉල්ලා සිටියා. එසේ නොකළහොත් ජනතාවට අත්‍යවශ්‍යද ගෙන්වා ගැන්ම ගැන බැරෑරුම් තත්වයකට මුහුණදීමට සිදුවන ඇති බවට ඔවුන් අනතුරු අගවා සිටියා. ශ්‍රී ලංකාවේ නීතීඥවරුන්ගේ මණ්ඩලයද මේ ප්‍රශ්නවලට විශාරද උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. ඒ කිසිවක් රජය මායිම් කරන බවක් පෙනෙන්නේ නැහැ.

ජනතාවගේ උවමනාවන්, වේදනාවන් ප්‍රශ්න ගැන සංවේදී වීම වෙනුවට ගජමිතුරු ධනවාදී ගමනක රජය යෙදී සිටිනවා. මේ තත්වය තුළ වරායට එන තෙලටිකට ගෙවන්නට මුදල් නොමැති තත්වයකට, අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වාගන්නට මුදල් නොමැති තත්වයකට යමින් විශාල ව්‍යසනයක් ඉදිරියට රට තල්ලු කර තිබීම අප දකිනවා.
ජනතාව අද මුහුණදී ඇති මේ ප්‍රධාන ප්‍රශ්න කිසිවක් ගැන නිසි ඇමතීමක් ජනපතිගේ පාර්ලිමේන්තු ඇමතීම තුලින්ද සිදුනොවිණ. සුපුරුදු ලෙසින් ජනතාව රවටන සුරංගනා ලෝකයක් මැවීම පමණී, ඒ දේශනය තුළින් සිදුවූයේ.

ජාත්‍යන්තර දූෂිත දර්ශකයන්හි, මානව අයිතීන් සුරැකීම පිළිබද දර්ශකයන්හී ප්‍රජාතන්ත්‍රවාදී පාවැත්ම පිළිබද දර්ශකයන්හි ඇතුළු සෑම මිනුම් දඩුවලින්ම අපේ රට ලෝකය ඉදිරියේ විශ්වාසය බිදගත් අසමත් රාජ්‍යයක තත්වයකට පත්වෙමින් තිබීම අපි දකින්නෙමු. රටේ ඉරණම මේ ලෙසින් තීන්දුවීමට ඉඩදී නිහඩව සිටිය හැකිද? රටේ ඉරණම යහපත් කිරීම සදහා නිවැරදි දැක්මකින් යුතු ගමනකට රට ප්‍රවේශ කිරීමට ජනතා පෙළ ගැස්මකට අප්‍රමාදව යා යුතු වෙමු. ඒ සදහා වගකීම් ඉටුකරමු.

ඉම්තියාස් බාකීර් මාකාර්