අතීතයේ දවසක පුත්තලම ප්‍රදේශයේ පක්ෂ දෙකකින් අපේක්ෂකයින් දෙදෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වූහ. එක් අපේක්ෂකයෙක් ඡන්දයට පෙරදා උදේ ඡන්ද දායකයින් අත රුපියල් පහක් මිටමොලවා ගියේ පසුද තමන්ට මනාපය පලකරන ලෙස ඉල්ලමිනි. හවස අනෙක් අපේක්ෂකයා ආවේය.
“උබලට අරූ කීයක් දුන්නද?” ඔහු ඇසුවේය .
“රුපියල් පහයි.” ඡන්ද දායකයො කීහ.
“උඹලට පිස්සුද.කෝ,උගේ රුපියල් පහ මට දියල්ලා. මම උබලට දහයක් දෙන්නම්” කියා කී අපේක්ෂකයා ප්‍රතිවාදියා ඡන්ද දායකයින්ට දුන් රුපියල් පහ ඉල්වාගෙන ඔහු රුපියල් දහයක් දුන්නේය . එහෙත්,සිදුවූයේ කුමක්ද ?. ඡන්ද දායකයින්ට දෙවැන්නාගෙන් රුපියල් දහයක් ලැබෙන විට රුපියල් පහක් අහිමිවේ.අනෙක් අතට දෙවැන්නාද දහයක් දෙන විට පහක් පෙරළා ලැබී තිබේ. ලාංකික ඡන්ද දායකයාට එහෙම ලණු කැවූ අවස්‍ථා එමට තිබේ. එහෙත් එකී ලණු කෑම අබ්බැහියක් වූ විට එය නැතිවම බැරිය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වන ව්‍යවස්‌ථාව අනුව ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හල නොහැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ද ඇතුළත් වන්නේය’ යන ලෙස සඳහන්ව ඇත.
අත් හල නොහැකි මේ බලය කෙතරම්ද යන්න ජනතාව තේරුම් ගෙන සිටිත්ද යන්න විමසීම වටී. ජනතා පරමාධිපත්‍යය යටතට ගැනෙන පාලන බලතල ගත්විට විධායක බලය ජනතාව විසින් තම ඡන්ද බලයෙන් තෝරාපත් කරන ජනාධිපතිවරයා විසින්ද, ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද, අධිකරණ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ විනිශ්චය අධිකාරි සහ ආයතන මගින්, පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ජනතා පරමාධිපත්‍යය යනු ඡන්ද බලය ලෙස අර්ථ දැක්‌වීම වරදක් නොවේ.
ඒ අනුව ජනතාවට අන් කවරදාටත් වඩා ‘තීරණාත්මක’ අවස්ථවක් මැතිවරණ හරහා උදා වේ. ඒ තමන්ගේ ‘ඡන්දයට’සාධාරණය ඉටු කළ හා නොකළ අයට පාඩමක් කියා දීමේ අවස්ථාවය. පක්ෂ පාට නොසලකා ඒ පිළිබඳව තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමි වෙයි.
රට නිදහස ලැබූ දා සිට මේ දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16ක් තබා රටේ ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරු තෝරා පත්කරගෙන තිබේ. අද භාවිත කරන ‘පාර්ලිමේන්තුව’ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙසත්, 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණවලදී පාර්ලිමේන්තුව ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජාතික රාජ්‍ය සභාව ලෙසත්, අර්ථ දක්වා ඇත. 1978 ජනාධිපති ආණ්ඩු ක්‍රමය යටතේ එය පාර්ලිමේන්තුව ලෙසත් අර්ථ දක්වා ඇත. නාම අර්ථය කුමක් වුවත් එයින් සිදුවන්නේ ‘රටට ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායක’ කාර්යභාරයයි. එය උත්තරීතර වන්නේ එනිසායි. ඡන්ද දායකයකු වීමේ වැදගත්කම පිළිබඳව තවමත් පුරවැසියන්ට නිසි අවබෝධයක් නොමැති අතර වාර්ෂිකව පුද්ගලයන් ලක්‍ෂ පහක් පමණ ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි නොවන බව පැවසේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය සුරැකෙනුයේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් තුළය. ඒ සඳහා සුදුසුකම් සහිත සියලුම පුරවැසියන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවී තිබීම අත්‍යාවශ්‍ය කරුණකි.
දේශපාලනඥයින් සියල්ලෝම පාහේ හැල්මේ දුවන්නේ ‘බලය’සොයාය. එහෙත් ඔවුහූ බලය ලබා ගන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයෙනි. එකී පරමාධිපත්‍ය නොසලකා හැරීම ‘පුරවැසියෙකුට’ තරම් නොවේ. මක්නිසාද යත් එක් ඡන්දයක් පවා තීරණාත්මකව රටක අනාගතයට බලපෑම් කරන නිසාය.
“අපි පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා’
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු අරුම පුදුම ජයග්‍රහණයෙන් පසුව එහෙම කීවේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ය . කතාව ඇත්තය. දිනනවානම් පොල් ලෙලි නොව පොල් පිති දැම්මත් කමක් නෑ කියන වර්ගයේ කතාවකි එය. මේ කියන කතාවට අනුව දේශපාලන තීන්දු තීරණ අරභයා මහජනතාවගේ හිතන පතන ආකාරය එතරම් පහලට දමා පාගා කළ කතාවක් තවත් නැත. වරක් රූපවාහිනී වැඩසටහනකට ආ එස්.බී දිසානායක මෙහෙම කතාවක් කීවේය. “මමත් හොර ඡන්ද දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් හොර ඡන්ද දාලා තියෙනවා” යන්න ඒ කතාවය.
ඡන්ද බලය සහ ඡන්ද දායකයාව දමා තිබෙන තැන එයින්ම වටහාගත හැකිය. ඔවුන් ඡන්දදායකයාව තබා තිබෙන තැන ඒකය. වගකීම් විරහිතව මනාප ලබාදී ඕනෑම පොල්ලෙල්ලක් තෝරාපත්කර යැවීමේ ප්‍රතිවිපාක ගම්මට්ටමේ සිටම භුක්ති විඳින්නේ මහජනයාමය. එහෙත් සිය ‘නායකයා’කෙරෙහි අන්ධානුකරණයෙන් යුතු උන්මාදයෙන් මනස ඔල්මාද වූ විට වෙන කිසිවක් ගැන වගේ වගක් නැත. වගේ වගක් නැතිව ඔහේ යන එකට කියන්නේ, ගඩ්ඩරිකා ප්‍රවාහය කියලාය. බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුවට ගඩ්ඩරිකා ප්‍රවාහය කියා කියයි. බැටලුවන්ට මොළයක් නැත. මහ බැටලුවාටද මොළයක් නැත.ඒ නිසා යන්නේ කොහිද,කරන්නේ මොනවාද කියා ගඩ්ඩරිකා ප්‍රවාහයේ යෙදෙන බැටලුවෝ දන්නේ නැත. තැනක් නොතැනක් නැතත් දහස් ගානක් ඔහේ ඇවිදිමින් සිටියි.
මෙරට දේශපාලන ය සම්බන්ධයෙන් ද එය සාධාරණ උදාහරණයකි. ලෝකයේ බොහෝ දියුණු සහ දියුණු වීමේ උවමනාව සහිත රටවල ජනතාව ස්වකීය පාලකයින් තෝරා ගැනීමේ දී අද ඉතාමත්ම වගකීම් සහගත සහ ඉදිරිගාමී තීන්දු ගනී. එකී තීන්දු තුළින් ඔවුහූ අප්‍රමාණ ජයග්‍රහණද උදාකරගෙන තිබේ. අමෙරිකාවේ බැරැක් ඔබාමා බලයට එන්නේ බහුතර සුදු ජාතිකයින් වෙසෙන රටක කලු ජාතික ජනාධිපති ලෙසටය. එය නවතම ප්‍රවාහයක් බවට ලෝකය පුරාම පත්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස අද ලෝකයම තාරුණ්‍යයට ඉඩ විවර වී තිබේ.
සෙබස්තියන් කර්ස් ඕස්ට්‍රියාවේ චාන්සලර්වරයා බවට පත්වෙද්දී වයස 31කි. නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩන් තිස්වෙනි වියේ පසු වන්නීය. ඈ වචනයකින් පවා රට ශක්තිමත් කරන අතර ඈ සියලු පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කරයි. ප්‍රංශයෙ අගමැති 39 හැවිරිදි එම්මානුවෙල් මැක්රෝන්. ඔහු සරණාගතයන් පවා ආදරණීය ලෙස වැලද ගන්නා අව්‍යාජ නායකයෙකි. අයර්ලන්ත අගමැති ලියෝ වරද්කාර් තිස් අට වියැතිය. යුක්රේනයේ අගමැතිවරයා ව්ලොද්මිර් ග්‍රොයිස්මාන් තරුණයෙකි. මැසිඩෝනියාවේ අගමැතිව 38 වැනි එමිල් ඩිමිට්‍රියේව්ය. ෂෙයික් තමීම්බින් හමාඩ් අල්තානි කටාර් රාජ්‍යයේ එමීර්වරයාය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන අතර තවමත් තිස් වැනි වියේය. ලෝකය නවීකරණය වන්නේ පාලකයාගේ සිටය. ඔහු වයෝවෘධ පසුගාමියෙක්නම් රටද යන්නෙ පසුපසටය.