කවුරු කුමක් සොරකම් කළද කිසිවෙකුට දැනුම සොරකම් කළ නොහැකි බවත්, එබැවින් අධ්‍යාපනය අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙසේ වෙතත් අධ්‍යාපනය තුළ ද විවිධාකාර බෙදීම් දක්නට ලැබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා එක් අතකින් පළාත් පාසල් සහ ජාතික පාසල් ලෙසත් තවත් අතකින් නාගරික සහ ග්‍රාමීය පාසල් ලෙසත් විවිධාකාර අන්දමින් බෙදීම් සිදුකරන බවද පැවසීය. මෙලෙස අධ්‍යාපනය බෙදා වෙන් කිරීම බලවත් අසාධාරණයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තත්ත්වයෙන් අධ්‍යාපනය මුදවා ගත යුතු බවද පැවසීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස  ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 19වන පියවර ලෙස රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ දෙනියාය කළුබෝවිටියන විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන මේ වන විට දිවයින පුරා අදියර මට්ටමින් ක්‍රියාත්මක වේ.