විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හෝ අඩු කරන්න නොයෙකුත් ප්‍රතිපාදන තිබෙන බවත් නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග ජනාධිපතිට යම් යම් තනතුර සදහා පත් කිරීමේ තිබූ තනි බලය සීමා කර සංවරණ හා තුලන හරහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නිර්මාණය කළ බවත් ඊයේ දිනයේ ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ දී පොලිස්පති පත් කිරීමට නමක් ජනාධිපතිවරයා යෝජනා කර තිබූ බවත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 4ක් විරුද්ධව 2ක් සහ මත පළ කිරීමෙන් දෙදෙනකු වැළකී සිටි බවත් විපක්ෂ නායකයවරයා පැවසීය.

මෙහි දී කතානායකවරයාට ද ඡන්දයක් ඇති අතර එය තීරක ඡන්දයක් පමණක් බවත් ඡන්ද 5ක් තිබුණොත් පමණක් ස්ථිර හෝ ප්‍රතික්ෂේප වීම සිදුවන අතර කතානායකවරයා ඡන්දය දිය හැක්කේ සම වුවහොත් පමණක් වුවත් ඊයේ එවැනි සම වීමක් සිදු නොවුවත් කතානායකවරයා තීරක ඡන්දයක් ලබා දී වත්මන් පොලිස්පතිගේ නම අනීතික ලෙස ස්ථීර කර ඇති මුත් එවැනි දෙයක් සිදු නොවූ බවත් රැස්වීම අවසන් වී සාමාජිකයන් යන විට පවා එවැනි නමක් ස්ථිර නොවූ නමුත් සාමාජිකයන් ගිය පසු කතානායකවරයා එම නම ස්ථිර කර යවා ඇති බවත් එය ව්‍යවස්ථා විරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බොරුවක් කියනවා නම් තමාට විරුද්ධව නඩු දැමිය හැකි බවත් කතානායකවරයා මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් මෙරට නීතිය අවනීතිය බවට පත්ව ඇති බවත් කතානායකවරයා මාර්ගගත සුරක්ෂා කිරීමේ පනතට පවා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝදන කිසිවක් නොකර එය පනතක් ලෙස අත්සන් කර ඇති බවත් ඔහු අවස්ථා 2කදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රටේ අද ඇත්තේ කැලෑ නිතිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතලේ රත්තොට කයිකාවල මහා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 81 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මට බස් මෑන් කියන කුහකයෝ බොරු ප්‍රවෘත්ති හදනවා

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ඊට අකැමැත්තක් දක්වන පුද්ගලයන් පිරිසක් කුහක ප්‍රචාර දියත් කරමින් සිටින බවත් තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් පරිත්‍යාග කළ පසු තමාට බස් මෑන් යන අර්වර්තනාමය පටබැදි නමුත් තමා ඉන් නොසැලුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දිනක පුවත්පතක් හරහා තඹුත්තේගම විද්‍යාලයට තමා දුන් බස් රථය අබලන් වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කර ඇති බවත් මේ ගැන සොයා බලන විට එය අසත්‍ය කතාවක් බවත් එම පාසලේ ළමුන් ත්‍රිකුණාමලේ පැවැති බාලදක්ෂ ජම්බෝරියට පවා ගොස් ඇත්තේ එම බස් රථයෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහ ලොකු විප්ලවකාරයෝ රටේ අධ්‍යාපනය දියුණු වෙනවාට අකැමැතියි

මේ රටේ අධ්‍යාපන පද්ධතිය දියුණු වෙනවා දකින්න අකැමැති කුහකයෝ පිරිසක් ඇති බවත් මහලොකු විප්ලවකාරි සමාජවාදී ප්‍රකාශ කිව්වත් ඔවුන්ගේ දරුදැරියන් ඉගෙන ගන්නේ පෞද්ගලික විද්‍යාල සහ විශ්වවිද්‍යාවල බවත් ඔවුන් මේ බස් රථ ව්‍යාපෘතියට අකැමැති බවත් ඔවුන් කැමති ඔවුන්ගේ දරුවන්ට පමණක් ඒවා ලබා දීමට බවත් එය රටම විනාශ කරන කුහක කමක් බැවින් මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුහකකම් නොකර රට සංවර්ධනය කරන්න එන්න

මෙවැනි ව්‍යාපෘති සිදු කරන විට කුහක කම් නොකර තමා සමඟ රට සංවර්ධනය කිරීමට එන ලෙසත් අවසානයේ මේ තුළින් ප්‍රතිලාභ ලැබෙන්නේ තමාට නොව ජනතාවට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පවා ගම්උදාවෙන්, මහවැලිය, මහපොළ වැනි ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වූ බවත් එම ජනතා සේවාවෙන් වරප්‍රසාද ලැබුවේ රටේ පොදුජනතාව බවත් ඒ ආකාරයට විපක්ෂයේ සිටින ඕනෑම අයකුට තමා සමග ජනතාවට සේවය කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටෙන් භාගයක් දුප්පත්. පාසල් 800ක් වැහිලා

මේ වන විට රටේ ජනතාව ජිවත් වන්නේ අසීරුතාවෙන් බවත් රටෙන් හරි අඩක් දුප්පත්කමින් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයට අනුව වයස අවුරුදු 17-18 කාණ්ඩයේ දරුවන්ගෙන් පාසල් අධ්‍යාපනයේ නිරත වන්නේ 40%ක් බවත් 18 සම්පූර්ණ වන විට ඒ වයස් කාණ්ඩයේ 60%ක් අධ්‍යාපනය අතහැර ඇති බවත් එය සුබවාදී නොවන බවත් 2023 වසරේ අවසාන කාර්තුවේ පාසල් 800ක් වැසී ගුරු හිගය 40000ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබේ ඉල්ලීම ඵල දරයි. පරාටේ නීතිය තාවකාලිකව අහෝසියි

වසර 2-3ක් පුරාවට තමා ඇතුළු සමගි ජන බලවේගය දළ දේ. නිෂ්. ප්‍රතිශතයක් ලෙස 50%ක හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමේ නීතියට යම් විරාමයක් ලබා දෙන්න කියන සටනේ නිරත වූ බවත් එම සටනේ ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවන්න තීරණය කළ බවත් එය සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ පරාටේ නිතියට විරුද්ධව බවත් අවසානයේ එම විවේචනවල ප්‍රතිඵල ලැබුණු බවත් රජය ගත් එම තීන්දුවට ස්තූතිවන්ත වන නමුත් මේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 81ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3942ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 111ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1105ක් වැය කර තිබේ.