‘සැමට ජයක්’ යන මැයෙන් සමගි ජන සන්ධානය අද එළිදක්වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන බවත් එය රට හදන, ආණ්ඩුවක් කිරීමේ ඉලක්ක සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

සමගි ජන සන්ධානය විදියට ඉදිරි ආණ්ඩුව කරගෙන යාමට අපේක්ෂා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බවත් ඒ හරහා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන බවත් පුද්ගලික අංශයට, ව්‍යාපාරිකයන්ට නිෂ්පාදන, ධනය ඇති කිරීම සඳහා සමගි ජන සන්ධාන ආණ්ඩුව මුල්තැන ලබාදෙන බවත් එතුමා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

‘‘ප්‍රතිපත්ති ප්‍රකාශය අපි හදලා තියෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි. ආණ්ඩුවක් සිදුකිරීමේ ඉල්ලකය ඇතිවයි. වසර දෙකකට වැඩි කාලයක් වෘත්තියවේදීන් , විද්වතුන් එක්රැස්වෙලා සෑම විශයක් පිළිබඳව හොදින් අධ්‍යයනය කරලා තමයි සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කරලා තිබෙන්නේ.

පැවැති ආණ්ඩු රට විනාශ කර තිබෙන බව බොහෝ පිරිසක් පවසනවා. ඒ ප්‍රකාශය මම තරයේ ප්‍රතික්ශේෂ කරනවා. ලංකාවේ අධ්‍යාපනය , සෞඛ්‍ය මට්ටම ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් සිටිනවා.

2005 සිට මේ දක්වා රටේ ආර්ථික පද්ධතිය විවෘත ආර්ථිකය සංවෘත වී තිබෙනවා. ඉන්පසු 2022 සිට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස නම් කෙරුණා. ගත්ත ණය ගෙවා ගන්න නොහැකි තත්ත්වයකට රට පත්වුණා. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇති කරගෙන වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගමන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව යම් යම් ඉලක්කම් , ප්‍රතිශත කිහිපයක් ඉටු වෙලා තිබෙනවා. නමුත් රට බංකොලොත් වෙන්න පෙර දරිද්‍රතා රේඛාවෙන් පහළ හිටියේ මිලියන 3 ක් පමණයි. නමුත් අද වනවිට දරිද්‍රතා රේඛාවෙන් පහළ මිලියන 7 ක් ඉන්නවා. මිනිස්සුන්ට විශාල පීඩනයක් එල්ල වෙලා තිබෙනවා. උද්ධමනය සියයට 70 කින් ඉහළ ගිහින් තිබෙනවා. ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ පැවැති මිලට වඩා දෙගුණයකින් , තුන්ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම කිරි දෙන දරුවන් සියයට 25 කට අද කිරි ලබාදීමට දෙමාපියන්ට නොහැකි වෙලා තිබෙනවා.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය රාමුව තුළ තමයි සමගි ජන සන්ධාන ආණ්ඩුව කරගෙන යන්නේ. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තමයි සමගි ජන සන්ධාන ආණ්ඩුව කරගෙන යන්නේ. පුද්ගලික අංශයට , ව්‍යාපාරිකයන්ට නිෂ්පාදන , ධනය ඇති කරන්න සමගි ජන සන්ධාන ආණ්ඩුව මුල්තැන ලබාදෙනවා. ඒ වගේම සමගි ජන සන්ධාන ආණ්ඩුවක් තුළින් අඩුආදායම් ලාභින් , දරුවන් , ගැබිණි මව්වරුන් ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් දියත් කරනවා. ඒ වගේම රටේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා”

සමගි ජන සන්ධානය විසින් ජනාධිපති මැතිවරණය මූලික කරගනිමින් ඉදිරිපත් කරන ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහතින්,

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය