රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනන බවට වන ආරංචිය දැන ගත් පසු රනිල් සහ සජිත් එකතුවන බවට වන මතයක් රට තුළ නිර්මාණය කිරීමට උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

ඒ මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේගය ධන අගයන් එකතු කරගන්නවා මිසක් සෘණ අගයන් එකතු කර නොගන්නා බවත් කිසිඳු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලයන් සමගි ජන සන්ධානයට එකතු කර නොගන්නා බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ පිළිබඳව කියා සිටියේ අද (03) සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

“ආරංචිය සුබයි කියලා පොස්ටර් ගහපු අයට දැන් ලැබෙන ආරංචිය නම් සුබ නෑ. ඔවුන්ට ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 20 ක්වත් ගන්න බෑ කියලා දැන් සියලුම සමීක්ෂණවලින් සනාථ වෙලා තිබෙනවා. ඒ වගේම සියලු සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්න බවට වන සුභ ආරංචිය දැන් ලැබී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම විසින් සජිත් ප්‍රේමදාස මහතා දිනන බවට වන ආරංචිය දැන ගත් පසු රනිල් සහ සජිත් එකතුවන බවට මතයක් රට තුළ නිර්මාණය කරන්න උත්සහ කරනවා. සමගි ජන බලවේගය ධන අගයන් එකතු කරගන්නවා මිසක් සෘණ අගයන් එකතු කරගන්නේ නෑ. සෘණ අගයන් එකතුවූණාම සමගි ජන සන්ධානයේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලයන් සමඟ සමගි ජන සන්ධානයට එකතු කරගන්නේ නෑ.

රනිල්ගේ කණ්ඩායම 2019 දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය නොදී සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කරන්න විවිධ උපක්‍රම යෙදුවා. නමුත් 2019 ජනාධිපතිවරණයේදී ලක්ෂ 56 ක් ගන්න සජිත් ප්‍රේමදාස මහතාට හැකිවුණා. ඒ ලක්ෂ 56 එකමුත්ව තමවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටිනවා.

අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා සමඟ රටේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ , දමිල ජනතාව නියෝජනය කරන පක්ෂ , උතුරේ දේශපාලන පක්ෂ එකතු වෙලා සිටිනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ලක්ෂ 56 එලෙසම පවතිනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසා සජිත් ප්‍රේමදාස මහතාට අහිමි වුණ කතෝලික ක්‍රිස්තියානි ඡන්ද ටික මේවර සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම දයාසිරි ජයසේක මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවෙලා සිටිනවා. ඒ වගේම ඩලස් අලහප්පෙරුම මහතාගේ , ජී එල් පීරිස් මහතාගේ ඡන්ද ලැබෙන්නෙත් සජිත් ප්‍රේමදාස මහතාට. සජිත් ප්‍රේමදාස මහතා 2019 ගත් ඡන්ද ලක්ෂ 56 ට ඡන්ද ගණනාවක් අලුතින් අද වනවිට එකතුවෙලා තිබෙනවා. ඒ වගේම පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ගණනාවක් මෙවර සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා තිබෙනවා.

අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව රනිල් වික්‍රමසිංහට වඩා ලක්ෂ 40 ක් පමණ ඉහළින් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ. අනුර කුමාර දිසානායකට වඩා සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 20 කට වඩා ඉහළින් සිටින්නේ.

ඒ වගේම රටේ ඡන්දය නොදෙන්න තීරණය කරපු විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගේ ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් එකතුවෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන කිසිවක් ඉටු නොකරන පොරොන්දු නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතා රටේ නායකයා බවට පත්වුණ පසු ඒ පොරොන්දු සියල්ල ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට දළදා වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙලා තිබෙන්නේ.
ඒ වගේම 2019 දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56 ක් ලබාගැනීමට දායක වුණ පක්ෂ සහ කණ්ඩායම් අද සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවෙලා සිටිනවා. ඒ නිසා එම ඡන්ද ලක්ෂ 56 වෙනසක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා තිබෙන්නේ ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ. ද්‍රවිඩ සන්ධානයට උතුරු නැගෙනහිර විශාල ඡන්ද ප්‍රමාණක් තිබෙනවා. 2019 දී සජිත් ප්‍රේමදාස මහතාට අට ලක්ෂ අනූදාහක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා වරදාන වරප්‍රස ලබාදෙන බව පොරොන්දු වෙලා මන්ත්‍රීවරු සමගි ජන සන්ධානයට එකතුකරගත්තේ නෑ. සමගි ජන සන්ධානයට මන්ත්‍රීවරු එකතුකරගත්තේ රටේ සංවර්ධනයට දායක කරගැනීම සඳහා පමණයි. පෞද්ගලික වරදාන වරප්‍රසාද දෙන බව පවසා කිසිදු මන්ත්‍රීවරයෙන් සමගි ජන සන්ධානයට එකතු කරගත්තේ නෑ”