රට වත්මන් අර්බුදකාරී තත්වයට ඇද දැමූ පිරිසම නැවත වතාවක් මාධ්‍ය රැළි පවත්වමින් ජනතාව රවටමින් ඉදිරියට පැමිණ තිබෙන අතර ඒ කිසිවකට හසු නොවී පළපුරුදු, විශ්වසනීය නායකත්වයකට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවන ලෙස පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල සත්‍යවාදී පිටියෙන් ආරම්භ කළ විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින් පැවසීය.

76 වසරක දේශපාලන ඉතිහාසය තුළ ජනතාවට වැරදුනු, ජනතාවට වැරැද්දුව තැන පිළිබඳව නිවැරදිව හඳුනාගතයුතු බව පවසමින් චම්පික රණවක මහතා කියා සිටියේ මේ රටේ දේශපාලනයට පැමිණි දූෂිත, අකාර්යක්ෂම, අනාගතය පිළිබඳව දැක්මක් නැති පිරිස් නිසා රටට වැරදුනු බවත්, රටේ කැරළි කෝලහාල ඇතිකිරීම තුළින් රටේ දේශපාලනය වෙනස් කිරීමට කටයුතු කර, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටුවා විප්ලව කිරීමට ගත ප්‍රයත්නයන් නිසා රටට වැරදුනු බවත්ය.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ රට මේ වන තෙක් ණය වී තිබෙන මුදල රුපියල් බිලියන 37ක් පමණක් බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා, එල් ටී ටී ඊ කැරැල්ල නිසා රට ලබාගෙන තිබෙන බිලියන 37ක ණය මුදල මෙන් පස්ගුණයක් රටට අහිමි වී තිබෙන බවයි.

එතුමා අවධාරණය කරමින් කියා සිටියේ රටට වරද්දපු තැන මෙම දේශපාලන ධාරාවන් දෙකම සිටින බවත් එයින් එක අක්ෂයක් රටේ දරුවන්ට අයිස්, කුඩු, එතනෝල් ආධී මද්‍රව්‍ය අලවි කර ඒ හරහා ගෙන ගිය දේශපාලනය තුලුන් රට විනාශ කළ බවත්, අනෙක් අක්ෂය රටේ භීෂණ ඇතිකර, ලේ ගලන විප්ලව හරහා, කැරලි කෝලහාල තුලින් රට විනාශ මුඛයට අද දැමූ බවයි.

එළඹෙන සැප්තැම්බර් 21 වන දින සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට මනාපය පළකිරීම තුළින් රට අගාදයට ඇද දැමූ දේශපාලන අංශ දෙකම එකවර පරාජය කිරීමට ජනතාවට සුවිශේෂී මොහොතක් උදාවන බවයි චම්පික රණවක මහතා කියා සිටියේ.