ජිවිතයේ අන්තිම කාලය ගෙවමින් සිටින, නියත වශයෙන්ම පරාජයට පත්වන රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකුට තමන්ගේ වටිනා ඡන්දය ලබා දී, එම ඡන්දය අපතේ නොයවන ලෙස සුජීව සේනසිංහ මහතා අද (03) වව්නියාව විජයග්‍රාහී ජන රැලියේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එතුමා සඳහන් කලේ 91න් පසු මංමෝහන් සිං මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාව ආරම්භ කළ සංවර්ධනයේ ගමන්මඟ මේ වන විට ලෝකයේ අංක එකේ රට ඉන්දියාව බවට පත්කිරීමට සමත් වී තිබෙන බවත් අවාසනාවකට 94ට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ සීග්‍ර සංවර්ධනයක් ලැබූ ශ්‍රී ලංකාව 94න් පසු එනම්, රනිල් වික්‍රමසිංහට පක්ෂයේ නායකත්වය ලැබූ පසු ජනාධිපතිවරයෙක් බිහිකරගැනීමට හෝ මේ දක්වා වසර තිහක් තිස්සේ එක මැතිවරණයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ නිසා අඩාල වූ සංවර්ධනය එළඹෙන සැප්තැම්බර් 21න් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නැවත ආරම්භ කරන බවත්ය.

‘‘සහෝදරවරැනි අවුරැදු 30 ක් ලංකාවට මොකක්ද වුණේ කියලා බලාගෙන ඉන්නවා. ගොඩක් අයට මේක තේරැම්ගන්න බෑ. ඉන්දියාවේ මංමෝහන් සිං මැතිතුමා 1991විවෘත ආර්ථිකය විප්ලවයක් ඇති කරලා අද ලෝකයේ බලවත්ම රට බවට පත් වෙලා තියෙනවා. 1994 ට පස්සේ අපේ පක්ෂයට ජනාධිපති කෙනෙක් පත්කර ගන්න බැරිවුණා. 94 අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතණය වුණා. පක්ෂය ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝක වාර්තාවක් තියලා තිබෙනවා මැතිවරණ 06 කින් අවුරැදු 30 ක් පැරදිලා.

මේ 21 වැනිදා ‍රටේ විශාල විපර්යාසයක් ඇති කරනවා. 21 න් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා මේ ප්‍රදේශය විශාල දියුණුවක් ඇති කරන්න පුලුවන්. වව්නියාවට අපිට පුලුවන් ගුවන් තොටුපලක් හදන්න. ත්‍රිකුණාමලයට විශාල වරායක් හදන්න පුලුවන්. හොරකන් කරන්නේ නැත්නම් කොමිස් ගහන්නේ නැත්නම් මේවා කරන්න පුලුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා හොරකම් කරන්නේ නෑ. දූෂණය වංචාව නෑ එතුමා ජනතා සේවයට කැපවූ කෙනෙක්. ඒ නිසා ලක්ෂ 80 ක් අරගෙන අනිවාර්යයෙන්ම දිනනවා.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය ඉවරයි. එතුමා දැකලා නැහැ ඡන්දයකින් එතුමගේ පක්ෂයේ ජනාධිපති වෙනවා. රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා එක ඡන්දයක් අපතේ යවන්න එපා. ජිවිතයේ අන්තිම කාලය ගතකරන කෙනෙක්ට පරදින මනුස්සයෙක්ට තමුන්ගේ වටිනා ඡන්දය දීලා අපතේ යවන්න එපා. තමුන්නාන්සේලාගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබාදීලා ජනාධිපති කරමු”