රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පරාජය පිළිගත් මැති ඇමැතිවරු 80 ක් පමණ සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටව යාම සඳහා මේ වනවිට වීසා ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

එමෙන්ම , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණය හුදෙක් අනුර දිසානායක මහතාට සහාය දැක්වීම් මැතිවරණ ප්‍රචාරණයක් බවට පත් කරගෙන තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත් කරවීම බවත් රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණය දිනන්න කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ ක්‍රියාවෙන් උප්පු වී ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

සමගි ජන සන්ධාන කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

“රටේ තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට හැකි ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ සමගි ජන සන්ධානය පමණයි. රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඇතුළත් ප්‍රායෝගික වැඩපිළි‍වෙළක් සහ මාර්ග සිතියමක්ද ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජන සන්ධානය පමණයි.

සෑම දෙයක්ම පෞද්ගලීකරණය කිරීම සහ විකිණිම සම්බන්ධයෙන් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වෙලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා සිහින ලෝකයක් මවලා තිබෙනවා. ඒ සිහින ලෝකය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහන් නෑ.

සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශ අභිබවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි , මාර්ග සිතියමක් තිබෙන , වැඩපිළිවෙළක් තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය. ඒ වගේම ජනතාවට ලබාදෙන සහන පිළිබඳව , ආදායම් මාර්ග වැඩි කරගැනීම සම්බන්ධව නිශ්චිත කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය. රටේ තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැකි ජනතාවට විශ්වාසයක් තබා ගත හැකි ප්‍රතිපත්ති ප්‍රකාශය වෙන්නේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පමණයි. ඒ වගේම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සඳහා රටේ සිටින විද්වතුන්ගේ ධනාත්මක ප්‍රතිචාරයද ලැබිලා තිබෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණය අනුර දිසානායකට සහාය දැක්වීම සඳහා යොදාගෙන තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරිමට මිස ඔහුට දිනන්න නෙවෙයි කියන කාරණය මේ වනවිට සියලුම දෙනාට පැහැදිලි වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව වෛරී මැතිවරණ ප්‍රචාරණයක් දියත් කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ඔහුගේ සම්පුර්ණ සහාය අනුර දිසානායකට ලබාදෙන්න මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ හිතනවා අනුර දිසානායකට සහාය ලබාදීලා සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න. එ් නිසා රනිල් වික්‍රමසිංහ අනුර දිසානායකට පක්ෂග්‍රාහිවන කතාව ඉදිරිපත් කරනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතරම මැතිවරණ රැළිවලදී අනුර දිසානායක මගේ මිත්‍රයා කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම තැපැල් ඡන්දය කලින් දවසේ රාත්‍රීයේ රජයේ මාධ්‍ය නාලිකාවක අනුර දිසානායකට කතා කරන්න අවස්ථාව සලසා දෙනවා. තැපැල් ඡන්දයට පෙර දින විපක්ෂයේ අපේක්ෂකයෙක්ට රජයේ මාධ්‍යයක කතා කරන්න ඉතිහාසයේ කිසිදු දවසක ඉඩ ලබාදීලා නෑ.

ඒ වගේම පොදුජන පෙරමුණේ පිරිස මේ වනවිට බරපතල අර්බුදයක සිටිනවා. ඔවුන් විශ්වාස කළා රනිල් වික්‍රමසිංහ සමඟ ගියෝත් මැතිවරණය ජය ගන්න පුලුවන් කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ රැ දැනියල් දවල් මිගෙල් චරිතය රඟපාන පුද්ගලයෙක් බව පොදුජන පෙරමුණ දැන් තේරුම් ගෙන තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් පොදුජන පෙරමුණ ක්‍රමක් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටිනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රචාරණ රැළි 22 ක් අවලංගු කරලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ මැතිවරණ රැළි වල සිටින ප්‍රධාන කතිකයෝ දැන් ඔහුගේ වේදිකාවේ නෑ. ඔවුන් සියලු දෙනාට රනිල් වික්‍රමසිංහගේ ඇත්ත ස්වරූපය දැන් තේරුම් ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සමඟ සිටින ප්‍රධාන පෙලේ මන්ත්‍රීවරු 80 ක් සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය දාලා රටින් පිටවෙන්න වීසා ලබාගෙන තිබෙනවා. ඔවුන්ට දැන් වැටහිලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ආරක්ෂකයා නෙවෙයි කියලා. රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ කර පිටින් ගිහින් අනුර දිසානායක දිනවන්න කටයුතු කරන බවත් ඔවුන්ට තේරුම් ගිහින් තිබෙනවා.

ඒ වගේම අද වනවිට එක්සත් ජාතික පාක්ෂිකයන් සියලුම දෙනා එකතු වෙලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟ නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකයන් සියලුම දෙනා එකතු වෙලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ. එක්සත් ජාතික පක්ෂයේ උරුමය තිබෙන්නේ සමගි ජන බලවේගයේ. ලංකාවේ සිටින සියලුම ජන කොටස් අද සජිත් ප්‍රේමදාස මහතා වටා ඒකරාශි වෙලා තිබෙනවා.

ඒ වගේම මැතිවරණය ආරම්භ කළාට පස්සේ මාලිගාවත්තේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය සති දෙකෙන් දෙකට දින 4 ක් 5 ක් එකදිගට වහලා තිබෙනවා. මාලිගාවත්තේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය පිහිටලා තිබෙන්නේ ජනාකිර්ණ ප්‍රදේශයක. ඒ අවට පාසල් දරුවන් සෙල්ලම් කරන්නේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනයේ. නමුත් අද වනවිට කොළඹ නගර සභාව විසින් සතියකට දින 4 ක් ජනතා විමුක්ති පෙරමුණට රැස්වීම් තියන්න අවසර ලබාදීලා තිබෙනවා. නමුත් අපි ගිහින් පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය ඉල්ලුවොත් ලබාගන්න අපහසුයි. නමුත් අනුර දිසානායකට කිසිදු ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කොළඹ නගර සභාව කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ තිබෙන හිතවත්කම් මත අනුර දිසානායකට ඕනම වේලාවක පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය ලබාදෙන්න කටයුතු කරනවා. මාලිගාවත්තේ දරුවන්ට සෙල්ලම් කරන්න තිබෙන ක්‍රීඩාංගනය තමයි මේ විදිහට එක දිගට අනුර දිසානායකට රැස්වීම් පවත්වන්න ලබාදෙන්නේ”