විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 ඊයේ (4) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ දී එළිදක්වන ලදී.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හදිසි අවශ්‍යතාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඒකාබද්ධ දේශපාලන නායකත්වයක අවශ්‍යතාව අවධාරණය කරමින් පැමිණ සිටි පිරිස අමතන ලදී.

අතීතයේ ශ්‍රී ලංකාව සතුව බොහෝ අපේක්ෂා දල්වන සුළු සැලසුම් පැවතිය ද, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ම අසාර්ථකත්වයට පත් වූ බව විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. දේශපාලන අවස්ථාවාදය සහ ස්වාර්ථය ජාතියේ ප්‍රගතියට ඇති ප්‍රධානතම බාධකයන් වන බව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා වූ ඇරයුම් ඉදිරිපත් කරන බවයි.

එමෙන් ම ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් ඇතුළු තම ආර්ථික කණ්ඩායමේ විශේෂඥතාවය පිළිබඳ සඳහන් කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට සමත් එක ම කණ්ඩායම සමගි ජන බලවේගය සතු බවත් එම කණ්ඩායම සර්වග්‍රාහී වර්ධනය, පොදු සමෘද්ධිය සහ තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සංවර්ධනයේ පෙරමුණේ ගෙන සිටින අය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද ශ්‍රී ලංකාව නැවත ගොඩගැනීමේ දී රටේ ගැඹුරින් මුල් බැස ගත් අභියෝග සඳහා විසඳුම් ලබා දීමට විස්තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක් සමගින් පාර්ලිමේන්තුවේ පැහැදිලි සහ ඒකාබද්ධ ජනවරමක් ද අවශ්‍ය බැව් අවධාරණය කළ විපක්ෂ නායකවරයා විසින් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ එහි දී අදාළ සැලැස්ම සහ ඒ පිටුපස සිටින කණ්ඩායම යන දෙ අංශයම සැලකිල්ලට ලක් කරන ලෙසයි.

සමගි ජන බලවේගය විසින් එළිදක්වන ලද රට ගොඩනගන ආර්ථික සැලසුම (Blueprint 3.0) පහත සබැඳියෙන් ලබාගන්න,

blue print 3.0