රටේ ප්‍රධානතම මැතිවරණය පැවැත්වෙන මොහොතක, මැතිවරණ නීතිය බලාත්මක කර තිබෙන මොහොතක ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් වන පොලිස්පතිවරයා පත්කිරීමේ වගකීම පැහැරහැර තිබේ, මෙවැනි මොහොතක මන්ත්‍රීධුර පවා අහිමි වූ මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දුට අමාත්‍යාංශ උපදේශක තනතුරු ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ලජ්ජා සහගත ක්‍රියාවක් බවත් එය හුදෙක්ම අධිකරණයට සිදුකරන අපහාසයක් බවත් තිස්ස අත්තනායක මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අද (21) කටාන ප්‍රදේශයේදී පැවැත්වූ විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

මෙම රැළිය අමතමින් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසු අදහස්,

“පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඇමැතිධුරය සහ මන්ත්‍රීධුරය අහෝසි වුණ හරින් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට ජනාධිපතිවරයා ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශවල උපදේශක තනතුරු ලබාදීලා තිබෙනවා. එය අධිකරණයත් සිදුකළ අපහාසයක්. ආණ්ඩු බලය සහ ජනාධිපතිවරයාගේ බලය භාවිතා කරලා තනතුරු වරප්‍රසාද දෙමින් විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට ඇඳගැනීමට ගන්නා ක්‍රියාදාමය ලැජ්ජාසහගත කාරණයක්.

ජනාධිපතිධූර අපෙක්ෂකයෙක් නිසා වැඩබලන පොලිස්පතිවරයා පත් කරන්න නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. එසේම ජනාධිපතිවරයා නාමයෝජනා දුන් පසු අමාත්‍යාංශ උපදේශක තනතුරු ලබාදෙන්නේ කොහොමද? හරින් ප්‍රනාන්දුට, මනුෂ නානායක්කාරයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ජනාධිපතිවරයා අලුත් පාරක් නිර්මාණය කරනවා. ජනාධිපතිවරයා මොන දේ කළත් ජනාධිපතිවරණය වරප්‍රසාද ලබාදීලා දිනන්න පුලුවන් මැතිවරණයක් නෙවෙයි.

රටේ ගම් නගරවල ජනතාව සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා අවසානයි. ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කුමන කුමන්ත්‍රණය දියත් කළත් සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ සජිත් ප්‍රේමදාස මහතා,

අද වනවිට රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වුණ එක්සත් ජාතික පක්ෂය අද විනාශ වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා අවසානයි. ඒ නිසා ගම් නගරවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි ආරාධනා කරනවා සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න කියලා. පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද යන්න තැනැක් නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරය අවුරුදු 60 ක් තිස්සේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය කියන නම අටවාගෙන අලුත් වෙන්න උත්සහ කරනවා. ජාතික ජනබලවේගයේ ඉන්න අලුත් පිරිස කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ නායකයෝ පිරිස තමයි

ජාතික ජනබලවේගයෙත් ඉන්නේ. ජාතික ජනබලවේගයේ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති බව ටිල්වින් සිල්වා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ තක්සේරු රටේ ජනතාව පරිස්සමෙන් ලබාගත යුතුයි”