ආර්ථික ව්‍යසනයට අගාධයකට ලක්වු අප රට ගොඩගත හැකි දැනුම කුසලතාව නිපුණතාව ඇති හොදම කණ්ඩායම ඇත්තේ තමා සතුව බවත් විශේෂයෙන් මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කර ගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදා ගත් ආර්ථිකයක් කරා මේ කණ්ඩායම සමග යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නව චින්තනය මැද මාවත අනුගමනය කර සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කරන නව මාවතකට ප්‍රවේශ වන බවත් මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින් අන්ත දුෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කර දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (NCP) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි. මේ අවස්ථාව සඳහා ආචාර්ය මොන්ටේක් සිං (Economic architect of india’s liberalization policy), ටී. ක්‍රිෂ්ණකුමාර් (CEO of reliance consumer product limited), වෙරිටේ රිසර්ච් හි ආචාර්ය නිශාන් ද මෙල්, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ , හර්ෂන රාජකරුණා යනාදීන්ද එක්විය.

අප රටේ ව්‍යාපාරිකයන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සූරයන් වීරයන් එක්ව අප රටේ ඉදිරි ආර්ථික ගමන්මඟ ගැන සුහද සංවාදයකට එක්වීම ගැන සිය ස්තුතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.