රටේ සිදුවුණ වංචා දූෂණවලට සම්බන්ධ පිරිසට නීතිය ක්‍රියාත්මක කරන බව වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිධූරය භාරගැනීමට පෙර ප්‍රකාශ කළ බවත් නමුත් තවම එවැනි කටයුත්තක් ක්‍රියාත්මක වී නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවැසීය.

අද (08) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘වර්තමාන ආණ්ඩුව කියන දේ නොකරන නොකියන දේ කරන ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒ බව අද රටේ ජනතාවත් පිළිගෙන තිබෙනවා. පසුගියදා ජනාධිපතිවරයා කටුවාපිටිය දේවස්ථානයේ සංචාරයක නිරත වී තිබුණා. එහිදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ගේ වේදනාව පාරලා ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබුණා. පාර්ලිමේන්තුවේදී වාර හතරකදී සමගි ජන ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් අනාවරණය කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොයන්න කොමිෂන් සභා පත්කරලා තිබුණා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා නැවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන්න කමිටුවක් පත් කරන්න සූදානම් වෙනවා. එවැනි කමිටු නැවත අවශ්‍ය වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යම් යම් පුද්ගලයින් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා. ඒ නිසා දැන් කළ යුත්තේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පමණයි. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුන පුද්ගලයන්ව නැවත අපහසුතාවයට පත් කිරීම සිදු නොකළ යුතුයි.

ඒ වගේම ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා ටේ සිටින හොරු වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කරගන්නවා කියලා. ඒ වගේම රටට අහිමි වුණ මුදල් දේපළ නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. ඒ මුදල් වලින් ජනතාවට සහන ලබා දෙන බවත් වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. නමුත් එවැනි දෙයක් සිදුකරන බවක් නම් පෙනෙන්නට නැහැ. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා පසුගිය කාලයේ ෆයිල් සංදර්ශනයක් පෙන්නුවා. ඒ අවස්ථාවේදී වර්තමාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා බලයට පත්වුණ වහාම ඒ ෆයිල් වල නම් සඳහන් පුද්ගලයන්ට දඬුවම් ලබාදෙනවා කියලා. අපි වර්තමාන ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටිනවා ඒ ෆයිල් නැවත එළියට අරගෙන ඒ ෆයිල් වල නම් සඳහන් පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන්න කියලා. ඒ ෆයිල් වල නම් සඳහන් පුද්ගලයින් නීතිය රැහැනට කොටු කර ගැනීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයත් උපරිම සහය වර්තමාන ජනාධිපතිවරයාට ලබා දෙන්න සූදානම්. ඒ ෆයිල් වල නම් සඳහන් පුද්ගලයින්ට නිසි දඬුවම් කඩිනමින් ලබාදීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම ජාතික ජන බලවේගය මාධ්‍යවේදීන් ගැන බොහොම උජාරුවෙන් පසුගිය දවස්වල කතා කතාකළා. රටේ මාධ්‍යවේදීන්ට නිදහස ලබාදෙනවා කියලා ජාතික ජන බලවේගය පසුගිය දිනවල ප්‍රකාශ කළා. නමුත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මාධ්‍යවේදියෙකුට සිදුවුණ අසාධාරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිම වගකිවයුතු පුද්ගලයෙක් කතා තවම කළේ නෑ.

ඒ වගේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වුණා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එක අදහසක් ප්‍රකාශ කරනවා. විෂය භාර ඇමතිවරිය තවත් දෙයක් ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය තවත් දෙයක් ප්‍රකාශ කරනවා. මේ කණ්ඩායම් තුන ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පණිවිඩ තුනක් තමයි රටේ ජනතාවට ලබා දෙන්නේ. මේ තුන්දෙනාගෙන් කවුද ඇත්ත කියන්නේ කියන එක අද රටේ ජනතාවට ප්‍රහේලිකාවක් වෙලා තිබෙනවා. බලය ගන්න ඉන්න කාලේ කියපු දේවල් යථාර්ථයක් බවට පත්කරන්න අසීරු බව ජාතික ජන බලවේගය අද වන විට පිළිගෙන තිබෙනවා. වැටුණු රට ගොඩ ගැනීමට නම් කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වෙලා රට ගොඩ ගනිමු කියලා අපි එදා ප්‍රකාශ කළා. නමුත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ කණ්ඩායම් අවශ්‍ය නැහැ, අනුර දිසානායක රටේ ජනාධිපති වුණාම රටේ සියලුම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම රටේ ප්‍රශ්න විසදන ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැන් හොදාකාරවම තේරුම් ගිහින් තිබෙනවා.

ආණ්ඩුවේ අවිධිමත් වැඩ හේතුවෙන් ගොවින්ට මහ කන්නයේ වැඩ පටන් ගන්න විදිහක් නෑ

‘‘ඒ වගේම රටේ ගොවි ජනතාව බලාගෙන ඉන්නවා මාසයකින් මහ කන්නයේ වැඩ ආරම්භ කරන්න. මේ මාසයේ 25 වැනිදා වන විට රජරට ගොවීන්ට වතුර ලබා දෙන්න ඕනි මහ කන්නයේ වැඩ ආරම්භ කරන්න. මහ කන්නේ වැඩ ආරම්භ කරන්න කලින් ගොවීන්ට ලබා දෙන වැඩපිළිවෙළ කුමක්ද කියලා වර්තමාන රජයෙන් අපි අහන්න කැමතියි. ගොවීන්ට පොහොර සහනාරධාරයක් දෙනවද , මඩ පොහොර ලබාදෙනවාද , හෙක්ටයාරයකට කොච්චර මුදලක් ලබා දෙනවද , කියලා ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. පසුගිය කාලයේදී හෙක්ටයාරයකට රුපියල් 15000ක මුදලක් ගොවීන්ට ලබා දුන්නා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම මුදල රුපියල් 25000 දක්වා වැඩි කරන බව ප්‍රකාශ. ඒ සඳහා අනුමැතියකුත් ලබාගෙන තිබුණා. නමුත් මැතිවරණ කොමිෂන් සභාව එය නවත්වා තිබෙනවා. නමුත් ගොවීන් බලාගෙන සිටිනවා මේ මාසේ 25 වෙනිදා පසු මඩට බැහැලා ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න. නමුත් ජාතික ජන බලවේගය ගොවියාව ශක්තිමත් කරන්න පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඉල්ලනවා. එහෙම වුණොත් ගොවියාට අවශ්‍ය සහන ලබා දෙන්න ආණ්ඩුවට සිදුවන්නේ දෙසැම්බර් මාසයේ. එවිට ගොවිතැන් කටයුතු කරන්න ගොවියාට දෙසැම්බර් මාසය දක්වා බලාගෙන ඉන්න සිදුවෙනවා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා නිසි කාලයට ගොවීන්ට අවශ්‍ය සහනාධාර ලබා දෙනවා කියලා. නමුත් එවැනි වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ.‘‘

මහ මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක් සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා

‘‘ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව මහ මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වන විට නාමයෝජනා අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. සමගි ජන බලවේගයෙන් සහ සමගි ජන සන්ධානයෙන් ශක්තිමත් කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් මස 14 වෙනිදා පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහ සමග ජන සන්ධානයට සහාය ලබාදෙන්න කියලා අපි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමඟ එකතුවෙලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා අප්‍රසාදයට ලක් නොවුණු පිරිසක් සමග ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තරග කරන්නේ කවුරුන්ද කියලා ඔවුන් තවම ප්‍රකාශ කරලා නෑ. මාලි මාවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ කවුරුන්ද කියලා ගම්වල ජනතාව තවම දන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගයෙන් හිටපු කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔවුන් රටේ ජනතාව සමඟ ඉතාම සමීපව කටයුතු කළ දේශපාලනඥයින්. ජනතාවත් දන්නවා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන්ද කියල. ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් පිළිබඳව රටේ ජනතාව තුළ තිබෙන්නේ ප්‍රහේලිකාවක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමත් සමගි ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිලින්ඩරයට නායකත්වය දුන්නේ රට බංකොලොත් කළ කණ්ඩායම. ඔවුන්ට ඡන්දය දෙන්න එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානම් නැහැ. ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අද සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.‘‘

ජනාධිපතිවරයා බොහෝ දේවල් අමතක කරලා තමයි ඉදිරියට යන්නේ

‘‘ඒ වගේම ලෝක ජනාවාස දිනය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1985 එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනවා. ලෝක ජනාවාස දිනය ලෝකයේ බොහෝ රටවල් සැමරුවා. නමුත් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා අසමත් වෙනවා ලෝක ජනාවාස දිනය ශ්‍රී ලංකාවේදී සමරන්න. වර්තමාන ජනාධිපතිවරයා බොහෝ දේවල් අමතක කරලා තමයි ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ අද රටේ ජනතාවට ප්‍රහේලිකාවක් බවට පත්වෙලා තිබෙනවා.‘‘

සමගි ජන බලවේගය කිසිම දවසක ජනාධිපතිවරයාගේ කකුලෙන් අඳින්නේ නෑ

‘‘ඒවගේම අලුත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ පළමු සාකච්ඡාවට රටේ මුදල් ඇමතිවරයා ලෙස වර්තමාන ජනාධිපතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී සිටියේ නෑ. ඒ සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති පළමු සාකච්ඡාවට අනුර දිසානායක ජනාධිපතිවරයා සහභාගී නොවීම සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයාට ඡන්දය දුන්න උගත් බුද්ධිමත් පිරිස කතා කරන්න පටන් ගෙන තිබෙනවා. සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය කිසිම දවසක ජනාධිපතිවරයාගේ කකුලෙන් අඳින්න උත්සාහ කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට අපේ සහයත් අනිවාර්යයෙන්ම ලබා දෙන්න සුදානම්.‘‘