“තෙල් මිල අඩු කරන්න පුළුවන්. තෙල්වලට රුපියල් 50ක බද්දක් ගහනව. අමතරව තව බදු ගොඩක් තියෙනවා. සීයට වැඩිය බද්දක් තියෙනවා. තෙල් සංස්ථාවේ ණය පවර ගත්තා භාණ්ඩාගාරයට. දැන් තෙල් සංස්ථාව ණය නෑ. දැන් මොකද කරන්නෙ? දැන් හැම ලීටරයකටම රුපියල් 50ක බද්දක් ගන්නවා භාණ්ඩාගාරය ණයට හිලව් වෙන්න. මරු වැඩේ.” (අනුර කුමාර දිසානායක – අගෝස්තු 19 වන දා ගල්ගමුව ප්‍රචාරක රැලියේදී පැවසූ අදහසක් – උපුටා ගැනීම – බීබීසි)
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනපති සටන යන අවස්ථාවේ කළ මෙවැනි ප්‍රකාශ දැන් දැන් ජනතාව ප්‍රශ්න කරමින් සිටියි. ජනතාව අහන්නේ වේදිකාවල උගුර ලේ රස වෙනතුරු කෑගසා ප්‍රකාශ කළ, පැහැදිලි කළ ඉන්ධන මිල අඩු කිරීම කෝ යන්නයි. මේ ප්‍රශ්නයට පසුගිය දා සිරස සටනට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු ලබා දුන්නේය. ඔහු එහිදී කීවේ රජයට සමාගම් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා තෙල් මිල අඩු කරන්නට නොහැකි වී ඇති බවය. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ එසේ මිල අඩු කරනවා නම් එම සමාගම්වලට ගෙවන්නට සිදුවන බවය. එහෙත් ගිවිසුමට අනුව නම් ඇත්ත එය නොවේ.
රජය තෙල් මත පනවා ඇති බදු අඩු කිරීම මගින් හෝ සිපෙට්කෝ මිල අඩු කිරිම මගින් අනෙකුත් සමාගම් වලට ගෙවන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත් රජය ප්‍රතිපත්තිමය තීරණයක් මත කටයුතු කරමින් සහනාධාර මිලට තෙල් දෙන්නට කටයුතු කළහොත් ගෙවන්නට සිදුවෙනු ඇත. එහෙත් මෙය අවස්ථා දෙකක් බව මතක තබාගත යුතුය. රජය තෙල් මත පනවා ඇති බදු බර අඩු කරන්නේ නම් සමාගම්වලට අලාභයන් ගෙවන්නට ඕනෑ වෙන්නේ නැත. අනෙක සෙපෙට්කෝ ආයතනය තෙල් මිල අඩුවට ජනතාවට තෙල් බෙදාහැරීම සිදුකළත් එය සමාගම්වලට අදාළ වන්නේ නැත. නමුත් එයින් වෙනත් ප්‍රශ්න ඇති වන්නට පුළුවන් ය.
‘විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ රජය මිල සූත්‍රයෙන් බැහැරව මිල නියම කළ විට හෝ ඉන්ධන සහනාධාරයක් මත රජය විසින් කරන ලද නියෝගයක් මත පමණක් CPC ඇතුළු ඕනෑම ක්‍රියාකරුවෙකුට වන්දි ගෙවීමට හිමිකම් ලැබේ. මිලෙහි වෙනස ඔවුන්ගේ අකාර්යක්ෂමතාවයේ හෝ CPC මිලකරණය සඳහා කිසියම් ක්‍රියාකරුවෙකු විසින් සිදු කරන ලද පාඩු සඳහා ගෙවීමට රජය කිසිදු ආකාරයකින් වගකිව යුතු නොවේ’. අදාළ ගිවිසුමේ අදාළ වගන්තිය එසේ කියයි. එය එසේ කියන විට ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද?
ඒ අනුව ජනාධිපතිවරයා ජනතාවට බොරු කියමින් සිටින බව ප්‍රකාශ කළ යුතුය. ජනාධිපතිවරයා සටනට පැමිණ මෙසේ කියන විට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උදයංග හේමපාල බීබීසීයට කියන්නේ මෙවැනි කතාවක් ය.
‘අපි දැනට කරල තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රොෆිට් මාර්ජින් එක අඩු කරපු එක, ඉන්ධනවලට පනවලා තියෙන බදු ගොඩක් පාර්ලිමේන්තුව හරහා දාලා තියෙන්නේ. ඒවා ඉවත් කරන්න නම් අනුමැතියක් අවශ්‍ය යි. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ තමයි ඒ ගැන තීන්දුවක් ගන්න වෙන්නේ. විශේෂයෙන් අයවැයක් හරහා තමයි ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ’. මේ කතාවත් ප්‍රශ්නය මඟහැර යන්නට කියන කතාවක් පමණක් බව පෙනෙයි. වර්තමාන ආර්ථික අර්බුද තත්ත්වය තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම මෙන්ම ඉන්ධන මත පනවා ඇති අධික බදු බර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමගද පෑහෙන පසුබිමක මේවා වෙනස් කිරීම හිතන තරම් ලේසි නැත. ජනාධිපතිවරයා විපක්ෂයේදී කළ ප්‍රකාශයන් දැන් ඔහුටම පාරාවළල්ලක් වී ඇත. කී දේවල් නොකර ඉස්සරහට ගියොත් ඔහු ජනතාව රැවැට්ටු නායකයෙක් වෙනු ඇත. කී දේවල් එලෙසම කළොත් අයිඑම්එෆ් සම්බන්ධතාවයේ පළඳු ඇතිවන්නට පුළුවන් ය. රාජ්‍ය ආදායම පහළ යන්නට පුළුවන් ය. නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන්නට පුළුවන් ය.
කියූ දේවල් නොකරන්නේ ඇයි කියා ජනතාව ඇසූ විට මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව නොමැතිව කළ නොහැකි බවය. පාර්ලිමේන්තුව හරහා ඉන්ධන මිල වහාම අඩු කරන්නට අවශ්‍යතාවය තිබුණා නම් හෝ විදුලි බිල වහාම අඩු කරන්නට අවශ්‍යතාවය තිබුණා නම් ජනාධිපතිවරයාට තව සතියක් දෙකක් ඉවසා පාර්ලිමේන්තුව කැඳවා ඒ සංශෝධනයන් කරන්නට අවකාශ ඕනෑ තරම් තිබුණි. එහෙත් ඒ සියල්ල අමතක කර කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට ගිය ජනාධිපතිවරයා දැන් ජනතාවට තව තවත් බොරු කියමින් සිටියි..!
-මේඝ-