ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රමුඛ එහි නියෝජිත පිරිසක් ඊයේ (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් හමුවිය.

රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් විපක්ෂ නායකතුමා පැහැදිලි කළ අතර විශේෂයෙන්ම රටේ බිඳවැටී ඇති විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ද නියෝජිත පිරිසගේ අවධානය යොමු කරවීය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ අසීරු තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒම පිණිස සහාය වන ලෙසද අදාළ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

නිවරදි මූල්‍ය කළමනාකරණය උදෙසා රජයට අවශ්‍ය කරන බලපෑම සිදු කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම ආදායම් බදු ඉහල දමා තිබීම හේතුකොටගෙන රටේ ජනතාව දැරිය නොහැකි පීඩනයකින් සහ අසීරුතාවයකින් ජීවත්වන බවද සිහිපත් කළේය.

බිඳ වැටී තිබෙන ක්ෂේත්‍ර පිළිබඳව එකින් එක පැහැදිලි කළ විපක්ෂ නායකතුමා මේ තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාවට කාලය අවශ්‍ය බවද පැවසීය.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි මෙම නියෝජිත පිරිස අදාල සංචාරයේදී මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කොට තිබේ.