driving licence එකවත් රට තුල මුද්‍රණය කර ගත නොහැකි රට 2048 දී දියුණු වෙතැයි උපකල්පනය කළ නොහැකි බවත් ගජමිතුරන්ට එම මුද්‍රණය ලබා දීම තවත් වෙලාවක හමුදාව ලවා මුද්‍රණය කරවීම වැනි දේවල් සිදුකරන බවත් ඩ්‍රයිවින් ලයිසන් මුද්‍රණය කිරීමේදීත් මගඩියක් වංචාවක් දුෂණයක් ක්‍රියාත්මක වන බවත් මේ තුළින් හොරු කෝටි ගණන් මුදල් හොයන අතරතුරු ලක්ෂ 220ක් වූ ජනතාවට අනතුරේ බවත් ඔවුන්ට බොන්න බෙහෙත්, කන්න කෑම, බොන්න ජලයවත් නොමැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍යරාජයානන් වහන්සේගේ හතරැස් කොටුවේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ හා කොත නිරාවරණය කිරීමේ අවස්ථාවටත් කුල දරුවන් සසුන්ගත කිරීමේ මහා පිංකමටත් එක් වූ අවස්ථාවේ දීය.

රටක් ලෙස ලෝකයේ දියුණුවන රටවල් හා සංසන්දනය කරන කොට අපේ රටේ පිටුපසින් සිටින බවත් මේ තත්ත්වයෙන් මිදීමට නම් සීඝ්‍රගාමී මානව, භෞතික හා ජාතික සංවර්දන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය ආගමික සංවර්ධනයත් සමඟ සමගාමීව සිදුවන විට ලොව දිනන ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොලේ ඉල්ලුමට සැපයුම දිය හැකි උගත්, බුද්ධිමත්, කුසලතාවයෙන් දක්ෂතාවයෙන් හෙබි ජවසම්පන්න තාරුණ්‍යයක් යොවුන් පරපුරක් පුරවැසි පරපුරක් ආගමික සිද්ධස්ථානය කේන්ද්‍ර කර ගෙන නිර්මානය කිරීම සමගි ජන බලවේගය ප්‍රමුඛ තමාගේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බංකොලොත් රටක් ලෙස අපි ඉතාමත්ම අවධානම් තත්ත්වයක සිටින බවත් හැම අතකින්ම අපි අවදානමට ලක්වී ඇති බවත් එය දේශපාලන, ආරක්ෂ, භූ දේශපාලනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය, කාර්මික ආදී සෑම අතකින්ම දැඩි අවදානමක සිටින බවත් මෙවැනි මොහොතක අපේ රට බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වෙමින් තිබෙන බවත් රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් බලවත් පුද්ගලයන් අපේ රටෙන් විවිධ කොටස් උදුරා ගැනීමට මාන බලමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනවරමක් නොමැති රාජ්‍ය පාලනයක් තුළ නායකයන් පවා අවදානම් හා අබලන් තත්ත්වයකට පත්වව ඇති බවත් ජනතා ශක්තියක් නොමැති වීම මහජන වරමක් නොමැති වීම පොදුජන ආශිර්වාදය නොමැති වීම මෙයට හේතුව බවත් ඒ නිසා රටේ පැවැත්ම වෙනුවෙන් නොව තමන්ගේ පැවැත්ම වෙනුනේ රටේ කොටස් කෑලි කැලිවලට කර වෙන්දේසි කරන පරිසරයක් නිර්මාණය වී ඇති බවත් පැවසීය.

මේ වරමක් නැති ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රටේ පැවැත්ම නොව තමන්ගේ පැවැත්ම ගැන සිතා කටයුතු කරන බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කුඩුපට්ටම් කර ජනතා වරමකට නොයා පුද්ගලික ගජමිතුරන්ගේ වරමකට අනුව කටයුතු කරමින් සිටින බවත් අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති බවත් නිර්වින්ධන ඖෂධ නොමැතිව ශෛල්‍ය කර්ම නතර වී ඇති බවත් වෛද්‍යවරු රට අතහැර ගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 600 ගාණක් ලියාපදිංචි වී තිබුණත් මේ වන විට ඇත්තේ තුන්සිය ගණනක්බව යි.

344ක් හොරා කා ඇති බවත් හෙතෙම පැවසීය. දිස්ත්‍රික්ක 18ක පවුල් 81000ක පුරවැසියන් 280000කට වැඩි ප්‍රමාණයක් ජල හිගය නිසා පීඩාවට පත්ව ඇති බවත් මේ බංකොලොත් භාවය තුළත් රටේ ක්‍රියාත්මක වන්නේ හොරකම වංචාව බොරුව මුසාව මුලාව රාජ්‍ය දේපල මංකොල්ල කෑම හා දූෂණය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන කොට කෑ කෝ ගහන කල්ලියක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ ඩියුටිය ලෙස රටට සේවය කිරීම නොව ජනතා ප්‍රශ්න කතා කරන විට ඒවාට බාධා කර පොදු ජන හඬ නිහඩ කරවන ජාති දේ‍රා්හී කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මේ ආකාරයට වැඩි කලක් ඔවුන්ට කටයුතු කළ නොහැකි බවත් තවත් මාස කිහිපයකින් වැදගත් තීන්දුවක් ලබා දෙන අවස්ථාවක් උදා වෙන බවත් නැවත වරක් බොරුව ප්‍රෝඩාව මත ඇන්දෙනවාද එසේ නොමැතිව පොදු ජනතාව සුරකින ආරක්ෂා කරන නායකත්වයක් පත් කර ගන්නාවද කියා ජනතාව තීරණය කළ යුතු බවත් අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.